Spread the love

ශ්‍රී ලංකාවේ සිට ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය හෙට (26) ඩුබායි වෙත අපනයනය කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ඩුබායි ‍වෙත අපනයනය කෙරෙන පළමු තොගය වශයෙන් ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් අපනයනය කිරීමට කටයුතු යොදා ඇති අතර මින් ඉදිරියට සෑම සතියකම සෙනසුරාදා දිනය තුළ ශ්‍රී ලංකා ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමට කටයුතු යොදා ඇත. එමඟින් සතිපතා ඩොලර් 10,000ක ආදායමක් රටට ලබා දීමට කටයුතු කර ඇතැයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘති අධ්‍යක්ෂ ‍ආචාර්ය රොහාන් විජේකෝන් මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ රාජාංගණය ප්‍රදේශයේ අක්කර 500ක වගා කර තිබෙන ඇඹුල් කෙසෙල් මෙසේ පළමුවරට විදේශ වෙළෙඳ පොළට අපනයනය කෙරෙන ඇත.
රාජාංගණයේ ඇඹුල් කෙසෙල් අපනයනය කිරීම සඳහා අද දින (25) කොළඹ වොක්ෂොල් වීදියේ Development Interplan Ceylon PVT LTD ආයතනයේ පැවැති වැඩසටහනක් අමතමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට සහභාගිවු ඇමතිවරයා , අප රට ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක විදේශ විනිමය ඉපයීම ඉලක්ක කර ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය විසින් ආරම්භ කරන ලද මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ නාමය අන්තර්ජාතික කීර්තියට පත් කරන අවස්ථාවක් බව කියා සිටියේය.
අපේ රටේ සෑම දෙයකටම විවේචන එල්ල කරන පිරිසක් සිටින අවස්ථාවක අපේ ම රටේ මහපොළවේ වැවුණු ඇඹුල් කෙසෙල් අද දින ජාත්‍යන්තර වෙ‍ළෙඳපොලට යැවීමට හැකි වීම අප ලත් ජයග්‍රහණයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අනාගතයේ දී අපේ රටේ කෘෂිකර්මාන්තයෙන් ඉහළ ආදායම් ඉපයීමටත්, අපේ කෘෂි නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයග්‍රහණය කළ හැක්කේ ද නවීන කෘෂි තාක්ෂණය, උපකරණ හා වෙළෙඳපොළ ගොවි ජනතාවට හඳුන්වා දීම මතින් පමණක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධව පෙරමුණ ගෙන කටයුතු කරන කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා ඇතුළු කණ්ඩායමට තම කෘතඥතාවය පළ කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, ASMP ව්‍යාපෘතියේ කෘෂි විද්‍යාඥ Dr. Julian සහ Dr. Han යන මහත්වරු ද සහභාගී වූහ.