Spread the love

ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ආර්ටිමිස්1’ පුහුණු මෙහෙයුම යටතේ, සඳ බලා ගමන් ආරම්භ කළ ‘ඔරායන්’ චන්ද්‍ර යානය සඳට ලං වී තිබෙනවා.

‘ඇපලෝ’ චන්ද්‍ර මෙහෙයුම් අවසන් වී වසර 50 කට පමණ පසු නාසා චන්ද්‍ර යානයක් සඳට ළං වුණු පළමු අවස්ථාව මෙය බව නාසා සඳහන් කරනවා.

පුහුණු මෙහෙයුමක් බැවින් ‘ඔරායන්’ චන්ද්‍ර යානයේ ගගනගාමීන් නොමැත. එසේ වුවත් බොරු ගගනගාමීන් (ඩමි) තුනක් යානයේ අසුන්වලට සම්බන්ධ කර තිබේ. ඒවායේ සන්වේදක සවිකර ඇති අතර, නාසා විද්‍යාඥයන් ඔවුන්ට අවශ්‍ය දත්ත ලබා ගැනීම සිදු කරනු ඇති.

ඒ, ඉදිරි ‘ආර්ටිමිස්’ මෙහෙයුම්වලදී ආරක්ෂිතව සැබෑ ගගනගාමීන් සඳට යැවීම සඳහායි.

යානය සඳ මතුපිටට ගොඩ බෑමක් නොකරන අතර, එය අඳුරු කලාපය ද පසු කර සඳ වටේ ගොස්, ආපසු පෘථිවිය බලා පැමිණෙනු ඇති.

‘ඔරායන්’ චන්ද්‍ර යානය පැරෂූට් ආධාරයෙන් පෘථිවියට ගොඩබෑම සිදු කරන්නේ දෙසැම්බර් 11 වැනිදාය. ඒ දින 25 ක මෙහෙයුම අවසන් කරමිනුයි.

‘ඔරායන්’ චන්ද්‍ර යානය එසේත් නැතිනම් ‘කැස්පියුලය’ ට සෙල්ෆි ඡායාරූප ගැනීමට හැකි බව ද නාසා ආයතනය පැහැදිලි කර තිබෙනවා.

‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ අධි බලැති රොකට්ටුවෙන් පෘථිවි කක්ෂයට ගොස්, රොකට්ටුවෙන් වෙන් වී, පෘථිවිය වටා කැරැකී අවශ්‍ය වේගය ලබා ගෙන සඳ බලා ගමන් ආරම්භ කළ අවස්ථාවේදී ද ‘ඔරායන්’ චන්ද්‍ර යානය සෙල්ෆි ඡායාරූප කීපයක් ලබා ගත්තා.