Spread the love

අනුරාධපුර පේමඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී නියමිත බරට වඩා අඩු යූරියා පොහොර මිටි 14 ක් ඇති බවට ඊයේ (17) වාර්තා වීම සම්බන්ධව වහාම පූර්ණ විමර්ශනයක් පවත්වන්නැයි කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දෙයි.

ඒ අනුව අද (18) දිනම මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් පැවැත්වීම සඳහා කොමර්ෂල් පොහොර සමාගමේ නිලධාරීන් පිරිසක් පිටත්කර හැරීමට සභාපතිවරයා පියවර ගත්තේය. මෙම විමර්ශන කණ්ඩායම ලංකා කොමර්ෂල් පොහොර සමාගමේ සාමාන්‍යධිකාරී ආචාර්ය ජයන්ත වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබ තිබේ. එමෙන්ම අද දිනය තුළම මීට අදාළ වාර්තාව ලබා දෙන ලෙස ද සභාපතිවරයා එම නිලධාරීන්ට උපදෙස් දී ඇත.

පොහොර බෙදාහැරීම පිළිබඳව යම් ගැටළුවක් පවතින්නේ නම් ඒ පිළිබඳව ගොවි ජනතාවට පැමිණිලි කිරීම සදහා අද (18) දින සිට තවත් අළුත් දුරකථන අංක 04 ක් හඳුන්වා දී ඇත. ඒ අනුව 077 – 3497565 – ධම්මිකා එදිරිසූරිය මිය – සහකාර අධ්‍යක්ෂ,071 – 2962006 – ජී.අයි.ඩී.අයි. සංජීව මහතා – සහකාර අධ්‍යක්ෂ,
071 – 8614557 /070 – 6664550 -චන්දන් මහතා – කොමසාරිස්(සේවා) යන දුරකථන අංක වලට තොරතුරු ලබාදිය හැකිවෙයි.

පොහොර බෙදාහැරීම සම්බන්ධව සියලුම දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර ලේකම්වරුට අද (18) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේදී සාකච්ඡාවක් පැවති අතර මහ කන්නයේ පොහොර බෙදාහැරීම් කටයුතු අවසන් වන තෙක් ඒ සම්බන්ධව කටයුතු කරන සියලු නිලධාරීන්ගේ නිවාඩු ලබා ගැනීම අවලංගු කරන ලෙසත්, ඉරිදා, සෙනසුරාදා සහ වෙනත් නිවාඩු දිනවල පවා මෙම කටයුතු අවසන් වන තෙක් සේවය සඳහා වාර්තා කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

මෙම අවස්ථාවට සියලුම දිස්ත්‍රික් සහකාර ලේකම්වරු මෙන් ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් එච්.එම්.ඒ.එල්.අබේරත්න යන මහත්වරු මෙන්ම රජයේ පොහොර සමාගම් දෙකේ සභාපතිවරු ද සහභාගී වී සිටියහ.