Spread the love

2003 වසරේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී තමන්ට අපහාස සිදුවන අන්දමේ ප්‍රකාශයක් සිදුකළේයැයි සදහන් කරමින් හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට  එරෙහිව හිටපු ක්‍රිකට්  සභාපති සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පවරා තිබූ  පැමිණිල්ලක්  සලකා බැලූ ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණය, තිලංග සුමතිපාල මහතා වෙත රුපියල් කෝටි දෙකහමාරක වන්දියක් ගෙවන ලෙස අර්ජුන රණතුංග මහතාට  අද (17) නියෝග කළේය.

ටෙලිකොම් සමාගමේ සභාපති ධූරය ඇතුළු කිසිදු  තනතුරකට තිලංග සුමතිපාල  මහතා සුදුසු පුද්ගලයකු නොවන සදහන් කරමින් අපහාස සහ අභූත චෝදනා ඇතුළත් ප්‍රකාශයන් සිදු කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් අර්ජුන රණතුංග මහතාගෙන් අය කර දෙන ලෙසට තිලංග සුමතිපාල මහතා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.

අදාළ ප්‍රකාශයෙන් තිලංග සුමතිපාල මහතාට විශාල අගතියක් සහ අපහාසයක් සිදුවී ඇති බව සදහන් කරමින් මෙම නඩු තීන්දුව  අභියාචනා මහාධිකරණ විනිසුරුවන් වන හර්ෂ  සේතුංග සහ තුසිත දේවප්‍රිය  ගුණවර්ධන  යන විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කෙරිණ.

පැමිණිලිකාර තිලංග සුමතිපාල මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන ගාමිණී මාරපන සහ නවීන් මාරපනද, කනිෂ්ඨ නීතීඥවරයෙකු ලෙස තනුජ මීගහවත්තද පෙනී සිටියහ.අර්ජුන රණතුංග මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් ජේෂ්ඨ නීතීඥ අතුල හේරත් මහතා  පෙනී සිටියේය.