Spread the love

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස  බිම්ශානී ජාසින් ආරච්චි මහත්මියට ලබාදුන් උසස්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකාබැලීම සඳහා ලබන වසරේ මැයි මස 18 වනදා කැඳවන ලෙස ‍ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ කුමුදුනී වික්‍රමසිංහ  යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ, පෞද්ගලික හේතුවක් මත මෙම පෙත්සම සලකාබැලීම වෙනත් දිනයකට කල්දමන ලෙසය.

එම ඉල්ලීමට අවසර දුන් විනිසුරු මඩුල්ල පෙත්සම සලකාබැලීම සඳහා ලබන මැයි මස 18 වනදා කැඳවන ලෙස නියෝග කර ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 දෙදෙනකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, ජාතික පොලිස් කොමිසම, නීතිපතිවරයා සහ මෑතකදී නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත් වූ බිම්ශානී ජාසින් ආරච්චි ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කිරීම්වලට අදාළ රෙගුලාසිවල “කාන්තා” යන වචනය සඳහන් නොවන බැවින් මෙරට කිසිදු පොලිස් නිලධාරීනියකට නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත්විය නොහැකි බවය.

ඒ අනුව සම්මත උසස්වීම් පටිපාටිය උල්ලංඝනය කරමින් බිම්ශානී ජාසින් ආරච්චි මහත්මියට අදාළ උසස්වීම ලබාදී ඇති බැවින් එය නීතිවිරෝධී බවට තීන්දුකර එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.