Spread the love

තරුණයන්ට නිදහසේ දේශපාලනය කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඊට අවශ්‍ය පරිසරය සැකසීම වැඩිහිටියන්ගේ වගකීමයි. එක්සත් ජනරජ පෙරමුණ යටතේ තාරුණ්‍යයේ නිදහස සහ නිර්මාණශීලීත්වයට අවකාශ සැලසෙන බව රණවක මහතා අවධාරණය කරයි. වර්තමාන පාර්ලිමේන්තුවේ වයස අවුරුදු 40 ට අඩු සාමාජිකයන් ගණන 26 කි. එහෙත් අවුරුදු 60 ත් 90 ත් අතර 57 දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිති.

කාන්තා නියෝජනය ද අවමය. එවැනි තත්ත්ව පිළිබඳව අවධානය යොමු කළ යුතු බව රණවක මහතා කියාසිටියේ, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති එක්සත් ජනරජ පෙරමුණේ තරුණ සමුළුව අමතමිනි. රටට නව පෙරළියක් අවශ්‍ය කාලයක් එළඹ තිබේ. තාක්ෂණය සහ නවෝත්පාදනය නව එළඹුමයි. අනාගත තරුණ පරපුරට ද ලොව ජයගත හැක්කේ තාක්ෂණය සහ නවෝත්පාදනය මගිනි. ඊට ඔවුන් යොමු කෙරෙන පරිසරයක් සැකසීම වගකීමක් බව රණවක මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ 40 ක් විදේශවල සේවය කරති. ඔවුන් සඳහා සේවා සැපයීම මගින් ඩොලර් උත්පාදන හැකියාව තිබේ. ඊට අවධානය යොමු කළ යුතු බව රණවක මහතා පවසයි. විදේශගත ශ්‍රී ලාංකිකයන් මගින් තාක්ෂණ සේවා, ආයෝජන සහ රැකියා අවස්ථා උත්පාදනය කර ගත හැකිය. එවැනි ක්‍රියාවලියක් සඳහා වූ නව පෙරළියක් රටට අවශ්‍ය බව පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය.

මේ අතර එක්සත් ජනරජ පෙරමුණු තරුණ අංශයේ සභාපති තීක්ෂණ ගම්මන්පිල මහතා කියාසිටියේ, තරුණයන් සඳහා පුළුල් දේශපාලන අවකාශ සැලසීම එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රතිපත්තිය බවයි. පක්ෂයේ පිරිපුන් නායකත්වය තරුණයන්ට අවස්ථා ලබාදීමට දැඩි නැඹුරුතාවක් දක්වයි. ඒ නිසා තරුණ ප්‍රජාවට නිසි තැන ලැබෙන පක්ෂයක් ලෙස එක්සත් ජනරජ පෙරමුණ හඳුන්වාදිය හැකි බව තරුණ සමුළුව අමතමින් ගම්මන්පිල මහතා පැවසීය. රටේ නීති හා ප්‍රතිපත්ති සැකසෙන ක්‍රියාවලියට තරුණ දායකත්වය අවශ්‍ය වෙයි. නිවැරදි දේශපාලන තීන්දු රටක සංවර්ධනයට අවශ්‍ය වෙයි. ඊට මැදිහත් වීමට එක්සත් ජනරජ පෙරමුණු තරුණ ප්‍රජාව සූදානම් බව තීක්ෂණ ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.

තරුණ ප්‍රජාවට බලපාන පොදු ගැටලු හයක් පිලිබඳව ද එක්සත් ජනරජ පෙරමුණු තරුණ සමුළුවේ දී අවධානය යොමු කෙරිණ. ඒවා විසඳීමට ගත හැකි ක්‍රියාමාර්ග සැලසුමක් එක්සත් ජනරජ පෙරමුණ වෙත ඇතැයිද එහිදී අවධාරණය කෙරිණ. තරුණ තරුණියෝ විශාල පිරිසක් තරුණ සමුළුවට සහභාගී වූහ.