Spread the love

වහාම ක්‍රියාත්මක වන පරිදි වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කර තිබෙනවා. මෙහෙකාර සේවයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් කාන්තාවක් වැලිකඩ පොලිස් ස්ථානයේදී රෝගී වී ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය යාමේ සිද්ධියට අදාළව ඔහු එලෙස ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. ඒ අනුව, වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත ස්ථානමාරු කර තිබෙනවා.

නිවසක දේපළ සොරා ගැනීම සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 11 වනදා වැලිකඩ පොලිස් ස්ථානයට වාර්තා වූ පැමිණිල්ලකට අදාළව එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි අදාළ කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එදින පොලිස් ස්ථානයේ රදවා සිටියදී ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ප්‍රතිකාර සදහා එම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා. එලෙස ජීවිතක්ෂයට පත් වුණේ වයස අවුරුදු 42ක් වූ බදුල්ල, දෙමෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.

ඇය මියයාම සම්බන්ධයෙන් ඥාතීන් සහ වෙනත් පාර්ශව විසින් සැක පළ කිරීම හේතුවෙන් විමර්ශනයක් ආරම්භ කෙරුණේ පොලිස්පතිවරයාගේ නියෝග මතයි.

එම විමර්ශන සිදු කරනු ලැබුවේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින්. විමර්ශනවලට අනුව මීට පෙර වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් 04 දෙනෙකුගේ ද වැඩ තහනම් කෙරුණා.

එලෙස වැඩ තහනමට ලක් වූයේ වැලිකඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරු දෙදෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් කොස්තාපල්වරයෙකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකු ස්ථාන මාරු කෙරුණා.

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කරන ලෙසට පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත නිර්දේශ ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව මහජන ආරක්ෂක ලේකම්වරයාගේ නිර්දේශ මත එම ස්ථාන මාරුව සිදුකර තිබෙනවා.