Spread the love

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මින්පසු ස්ථිර සහ දෛනික සුරාබදු බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවන්නැටි මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් දෙයි.

අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් දෙනු ලැබූයේ මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අවස්ථාවේදීය.

මින්පසු මහරගම බල ප්‍රදේශය තුළ සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දී දෙනු ලැබීය. ඊට අමතරව සංගීත සන්දර්ශන, කානිවල් සහ විවිධ කාරණා හේතුවෙන් දෛනිකව නිකුත් කෙරෙන සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම ද අත්හිටුවීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මහරගම ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය මෙහිදී විමසා බලනු ලැබූ අතර සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කෙරිණි.

රජයේ නව සමාජ සුබසාධන වැඩසටහන සඳහා ඉල්ලුම්පත්‍ර 13377ක් ලැබී ඇති අතර දැනටමත් 2560 කගේ දත්ත රැස්කර අවසන් බව මෙහිදී අනාවරණය කෙරිණි.

සෞඛ්‍ය අංශයේ ප්‍රගතිය පිළිබඳ විමසා බැලූ අතර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ හිඟයක් සම්බන්ධයෙන් ද මෙහිදී අනාවරණය කෙරිණී. බොරලැස්ගමුව වැව ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව නගර සභාවට භාරදීමට නියමිතව තිබුණත් ඒ පිළිබඳ වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිළිබඳ නැවත අවධානය යොමුකර අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මහරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, පූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති හිමි, කොළඹ දිස්ත්‍රීක් ලේකම් කේ. ජී විජේසිරි, මහරගම ප්‍රාදේශීය ලේකම් එම්.එම් කේ දිල්රුක්ෂී ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්විය.