Spread the love

සෙනසුරු චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය ජූලි 25 අළුයම ශ්‍රී ලාංකිකයන්ට දර්ශනය වනු ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. මෙය දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමකි.

ඒ අනුව ජූලි 25 වනදා පෙරවරු 12.40ට සඳ දෙස බැලීමෙන් එම සංසිද්ධිය පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකිය.

එම සංසිද්ධිය දුරේක්ෂයක් හෝ දුරදක්නයක් ආධාරයෙන් වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමට හැකිය.

එක් ආකාශ වස්තුවක් තවත් ආකාශ වස්තුවක් ඉදිරියෙන් ගමන් කිරීම නිසා එහි දර්ශනය අවහිර වීමෙන් මෙවන් සංසිද්ධියක් සිදු වන බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

චන්ද්‍රයා සෙනසුරු ග්‍රහලෝකය ඉදිරියෙන් ගමන් කරන විට එය පෘථිවියට නොපෙනී ගොස් ආසන්න වශයෙන් පැය එකයි මිනිත්තු විස්සක් පමණ චන්ද්‍රයාගෙන් වැසී පවතියි.

එම සංසිද්ධිය පෘථිවියේ ඇතැම් ප්‍රදේශවලට පමණක් දැකගත හැකිය.

කොළඹ ,යාපනය ,වව්නියාව ,අම්පාර ,ත්‍රිකුණාමලය ,අනුරාධපුරය ,පුත්තලම ,මහනුවර ,බදුල්ල ,බලංගොඩ සහ මාතර දිස්ත්‍රික්ක වලට පැහැදිලිව නිරීක්ෂණය කල හැකිය.

නැවත වරක් මෙවැනි සංසිද්ධිය ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනය වනුයේ 2037 අප්‍රේල් 24 වැනිදා බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.