Spread the love

2006 සිට 2021 දක්වා ආණ්ඩුව අත්පත් කරගත් ස්ථාවර වත්කම් වලින් කෝටි 553,000ක් නොහොත් ට්‍රිලියන 5.5ක් වටිනා වත්කම් ආණ්ඩුවේ ලේඛණ වල සටහන්ව නැතැයි විගණකාධිපතිතුමා විසින් පෙන්වා දීම ඉතාම බරපතල තත්වයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

ආණ්ඩුව කාර් එකක් ගන්න ලක්ෂ සීයක් වැය කලොත් ආණ්ඩුවේ වත්කම් ලක්ෂ සීයකින් වැඩි වෙන්න ඕනි. ආණ්ඩුව ලක්ෂ පන් සීයක පාසල් ගොඩනැගිල්ලක් හැදුවොත් ආණ්ඩුවේ වත්කම් ලක්ෂ පන් සීයකින් වැඩි වෙන්න ඕනි. නමුත් මුදල් වියදම් කළත් ආණ්ඩුවේ ලේඛණ වලට අළුතින් වත්කම් එකතු වෙලා නැති නම් වාහනය පාවිච්චි කරන කෙනා ඒක ගෙදර පාවිච්චියට ගෙන ගියත් ඒක ආණ්ඩුව දන්නේ නෑ. ඒ වගේම පාසල් ගොඩනැගිල්ල හදනවා කියලා ආණ්ඩුවේ ලොක්කෙක් තමන්ගේ ගේ හදා ගත්තත් ඒක දන්නේ නෑ. එහෙම වෙන්න පුළුවන් ද?

ආණ්ඩුව වත්කම් මිල දී ගන්න වියදම් කරපු මුදලින් 68%කට අදාළ වත්කම් පිළිබඳ තොරතුරු සටහන් වෙලා නෑ කියලා විගණකාධිපතිතුමා 2021 වසර වෙනුවෙන් නිකුත් කරපු තමන්ගේ වාර්තාවේ කියනවා. ඒ වාර්තාවේ 114 පිටුවේ තිබෙනවා වගුවක්. ඒක නම් කරලා තිබෙන්නේ දොලොස් වෙනි වගුව හැටියට. මේ වගුවේ හැටියට 2006 සිට 2021 දක්වා ආණ්ඩුව අත්පත් කරගත්තු ස්ථාවර වත්කම් වලින් කෝටි 553,000ක් නැතිනම් ට්‍රිලියන 5.5ක් වටිනා වත්කම් ආණ්ඩුවේ ලේඛණ වල නෑ. ඒ කියන්නේ වත්කම් මිල දී ගන්න වැය කරපු මුදලින් 68%කට වත්කම් ආණ්ඩුවේ නෑ කියලා විගණකාධිපති කියන්නේ.

නරකම අවුරුද්ද 2013. ඒ අවුරුද්දේ වත්කම් මිල දී ගන්න වැය කරපු මුදලින් 94%කටම මිල දී ගත් වත්කම් පිළිබඳ කිසිම සටහනක් නෑ. මේක තමයි දූෂණය පිළිබඳ ඉතිහාසයේ වාර්තා වුණු ඇඟ කිලිපොලා යන වාර්තාව. මේ වත්කම් හොරකම් කලා ද නැතිනම් ඇත්තටම ආණ්ඩුවේ භාවිතයට ගත්තත් ආණ්ඩුවේ ලේඛණ වල සටහන් කරලා නැද්ද කියන එක මම දන්නේ නෑ. නමුත් මේක රටේ අවධානය වහාම යොමු විය යුතු ප්‍රශ්නයක්. පුංචි පුංචි සොරකම් ගැන බෙරිහන් දෙන බොහෝ සංවිධාන විගණකාධිපති මතු කරන මේ දැවැන්ත ගැටළුව ගැන කතා නොකරන්නේ ඇයි කියන එක අපට නම් ප්‍රශ්නයක්.