Spread the love

මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද පෙට්ටි ලෙස යොදා ගැනීමට නියමිත කාඩ්බෝට් පෙට්ටි මේ වන විට දිවයිනේ සියලු තේරීම්භාර නිලධාරීන් වෙත යොමුකර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව තේරීම්භාර නිලධාරීන් විසින් අදාළ ඡන්ද පෙට්ටි ලබන සිකුරාදා (20) ඡන්ද මධ්‍යස්ථාන සදහා නිකුත් කිරීමට නියමිතයි.

ඡන්ද පත්‍රිකාව ප්‍රමාණයෙන් විශාල වීම හේතුවෙන් මෙවර ලී පෙට්ටි වෙනුවට කාඩ්බෝට් පෙට්ටි භාවිත කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කෙරිණි.

ඒ අනුව ප්‍රමාණ 03කින් කාඩ්බෝඩ් පෙට්ටි නිර්මාණය කර තිබේ.

මේ අතර ඡන්ද විමසීමට අදාළ සියලු කටයුතු මේ වන විට අවසන් කර තිබේ.

ඊට අදාළ සියලු උපදෙස් රාජ්‍ය නිලධාරීන්ට මේවන විට නිකුත් කර තිබේ.

මැතිවරණ රාජකාරී කටයුතු සඳහා සහභාගී වන නිලධාරීන් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ගන්නා ලෙසත් නියමිත දිනයේ දී රාජකාරී කටයුතු සිදුකරන ස්ථාන වෙත ගමන් කරන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙයි.