Spread the love

රත්නපුර දිසාපති කාර්යාලය තුළට හිස් වැසුමක් පැළඳ ඇතුළු වූයේ යැයි චෝදනා කරමින් රත්නපුර පොලීසියේ කොස්තාපල්වරයෙකු සහ කුරුවිට හමුදා කඳවුරේ නිලධාරියකු මාධ්‍යවේදියෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර එවක දිසාපති, රත්නපුර පොලිසියේ එවක ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (11) අදාළ මාධ්‍යවේදියාගෙන් විවෘත අධිකරණයේදී වැඳ සමාව ගත්තේය.

ඒ අනුව අදාළ ආරවුල සමථයට පත් කෙරුණු අතර පෙත්සම්කාර මාධ්‍යවේදියාට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුකරය ඉල්ලා අස්කර ගන්නා බවත් පෙත්සම්කරුට ඉදිරියේදී කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා බවත් වග උත්තරකාර පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ එකඟතාවය පළ කර තිබේ.

මාධ්‍යවේදී සරත් විමලරත්න මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක්  මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකරුවන් පෙත්සම්කරුගෙන් සමාව අයැද සිටීමට සූදානම් බවත් ඔහුට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියා මාර්ග නොගන්නා බවට එකඟවන බවත් දැනුම් දුන්නේය.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටි රත්නපුර හිටපු දිසාපති මාලනී ලොකු පෝතාගම, එම කාර්යාලයේ ආරච්චි අනුරාධ බණ්ඩාර, රත්නපුර එවක පොලිස් ස්ථානාධිපතිවරයා, එහි එවක කොස්තාපල් සමීර, කුරුවිට හමුදා කඳවුරේ එවක කෝප්‍රල් සේනානායක යන අය අධිකරණයේ පෙනී සිටි අතර පසුව ඔවුන් විවෘත අධිකරණයේදී පෙත්සම්කාර මාධ්‍යවේදියාගෙන් වැඳ සමාව ගත්තේය.

2019 වසරේ මැයි මස 29 වනදා රත්නපුර දිසාපති කාර්යාලයෙන් ලැබුණු දැනුම් දීමකට අනුව තමා හිස් වැසුමක් පැළඳ එම කාර්යාලයට ගිය බවත් එම අවස්ථාවේදී එහි සිටි පොලිසියේ හා යුද හමුදාවේ නිලධාරී ඊට විරෝධය පළ කළ බව පෙත්සම්කාර මාධ්‍යවේදියා සඳහන් කරයි. 

පසුව හිස් වැසුම ගලවා තමන් කාර්යාලට ඇතුළු වූවත් ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් එහි සිටි පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරියකු තමන්ට පහර දුන් බවත් පෙත්සමේ සඳහන් කර තිබුණි.

එහිදී වගඋත්තරකාර දිසාපතිවරිය තමන්ට අමානුෂික ආකාරයෙන් බැන වැදුණු බවත් පෙත්සම්කාර මාධ්‍යවේදියා සඳහන් කර තිබේ.

පසුව ඔවුන් තමන්ව අත්අඩංගුවට ගෙන රත්නපුර පොලීසියට රැගෙන ගොස් එදින සවස තෙක් පොලිස් ස්ථානයේ රඳවා තබා නිදහස් කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේය.

මේ තුළින් වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.