Spread the love


නිමල් රාජපක්ෂ-


ශ්‍රි ලංකාවේ ඉපැරණි ගුවන්තොටුපලක් වන හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා රුපියල් බිලියන 17 ක වියදමකින් නවීකරණය කිරීමට අවශ්‍ය ඉදිකිරීම් කටයුතු අද (19) සිට ආරම්භ කළ බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
මෙම ගුවන්තොටුපල දෙවන ලෝක යුධ සමයේ එංගලන්තයේ රාජකීය ගුවන් හමුදාව වෙනුවෙන් ඉදි කරන ලද අතර එකල මින්නේරිය ගුවන් හමුදා මධ්‍යස්ථානය ( RAF Minneriya ) ලෙස හඳුන්වා ඇත.
රට මධ්‍යයේ පිහිටා ඇති මෙම ගුවන්තොටුපල මඟින් රටේ ආර්ථිකයට ශක්තියක් ලබා ගැනීමේ පරමාර්ථයෙන් යුතුව ජාත්‍යන්තර ගුවන් තොටුපලක් බවට පරිවර්තනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වත්මන් රජය විසින් තීරණය කරන ලදී. ඒ අනුව 2024 අයවැයෙන් මෙහි මුලික ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට රුපියල් බිලියන 02 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලදී. මෙම මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් ප්‍රථම අදියර යටතේ දැනට තිබෙන මීටර් 2287 ක දිගින් සහ මීටර් 46 ක පලලින් යුතු ධාවන පථය මීටර් 2500 ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරනු ලබයි.
මෙම සැලසුම් සහගත ධාවන පථයේ සංවර්ධන කටයුතු මාස 06 ක් තුළ නිම කිරීමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුව එයාර් බස් 320, ‍බෝයිං B737 යන මාදිලි වල ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදු කිරීමට හැකි වේ. මෙම සමස්ථ සංවර්ධන කටයතු සඳහා රුපියල් බිලියන 17 ක් පමණ වැය වන බවත්, සියලු ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබන අතර, අධීක්ෂණ කටයුතු ගුවන් තොටුපල හා ගුවන්සේවා සමාගම විසින් සිදු කරන බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය අවධාරණය කරයි.
මෙම ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති ජී.එස්. විතානගේ ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගමේ සභාපති අතුල ගල්කැටිය, සිවිල් ගුවන්සේවා අධිකාරි‍යේ අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාෂල් සාගර කොටකදෙණිය යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.