Spread the love

අද මේ රට ඉදිරියට යන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ගොඩනගපු ආර්ථික වැඩපිළිවෙල නිසා බවත් ජනතා විමක්ති පෙරමුණ බලය ලබා ගැනීමට වේදීකාවේ ඉදිරිපත් කළ කිසිදු පොරොන්දුවක් ඉටු කිරීමට නොහැකි වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මීගමුව ගෝල්ඩන් ස්ටාර් හෝටලයේ පැවති ජන හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“ජනතා විමුක්ති පෙරමුණ බලයට එනකොට කියපු එක දෙයක්වත් අද කරන්න බැරිවෙලා තියෙනවා. බිත්තරයෙන්, ඉන්ධන වලින් කොමිස් ගන්නවා කීවා. මෙවැනි දේවල් වේදිකාවල කියලා බලය ගත්තා. ජනතාව ඒ කියන දේවල් විශ්වාස කරලා බලය දුන්නා. මාසයක් දැන් ඉවරවෙලා. රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල හැර කරපු වෙනත් අලුත් දෙයක් කරානම් කියන්න. එහෙම කිසි දෙයක් කරලා නැහැ.

ආපු ගමන් මහ බැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම් එලවනවා කීවා. රනිල් වික්‍රමසිංහ ආර්ථික වැඩපිළිවෙළ ජනතාව හුරා කනවා කිව්වා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම සංශෝධනය කරනවා කිව්වා. විවිධ පොරොන්දු දුන්නා. නමුත් බලය අරගෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ඉදිරියට අරගෙන යන එක ගැන සතුටු වෙනවා. මෙ අය වේදිකාවේ කියපු දේවල් කරන්න ගියොත් රට වැටෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක මේ අය ඉදිරියට යනවා. එහෙම බැලුවම අපියි ඒ අය අතර වෙනසක් නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ වේදිකාවේ ප්‍රධාන පොරොන්දු හතරක් කීවා. උපයන විට බදු අය කරන සීමාව වැඩි කරනවා කීවා. වැට් එක අඩු කරනවා කීවා. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් මාස හයෙන් හයට වැඩි කිරීම හා ගුරු වැටුප් විෂමතා ඉවත් කරනවා කිව්වා. මේ දේවල් කරනකොට අඩුවන ආදායම උපයාගන්න හැටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පෙන්නනන්න ඕනේ. ඒ නිසා වේදිකාවේ කියපු එකක්වත් මහ පොළවේ ක්‍රියාත්මක කරන්න බැහැ. මේ අය අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නෙ නැහැ. ගෙනාවොත් ආදායම් උපයන හැටි, ජනතාවට සහන දෙන හැටි පෙන්නන්න වෙනවා. ඒ නිසා මාස තුනක් අදින්න අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා. කොහොම වුනත් මාර්තු වෙනකොට අයවැය ලේඛණය ඉදිරිපත් කරන්න වෙනවා. එතකොට තමා අමාරුවේ වැටෙන්නේ.

ජනතා විමුක්ති පෙරමණ අපි කෙරෙහි සමාජය තුළ වෛරය, ඊරිෂියාව වපුරලා තමයි ජනතාවගේ ජන්දය ගත්තේ. ඒ අයට මහ පොළවේ වාසිය තියෙද්දි මහ මැතිවරණ අභියෝගය අපි භාර ගත්තේ ලබන මාර්තු ඉදන් මිනිස්සුන්ට කියපු බොරු පෙන්නලා දෙන්න ඕනේ. අපිට ආණ්ඩුව එපා. ඒ අයට ආණ්ඩුව දෙන්න. අපිට ප්‍රබල විපක්ෂයක් දෙන්න. ඒ අය ජනතාවට දුන්න පොරොන්දු ඉටු කරනවද නැද්ද කියලා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්න. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට බලය දෙන්න. අනුර කුමාර මහතාට රට කරන්න බැහැ. පලපුරුද්ද, අද්දැකීම නැහැ.

බිත්තර මිල වැඩිවෙනකොට කීවා රුපියල් දහයක් ඇමතිගේ සාක්කුවට යනවා කියලා. දැන් බිත්තරයේ මිල හතලිස් පහයි, පනහයි. දැන් ඒ මුදල යන්නේ අනුරටද, හරිනිටද, විජිතටද ? අපි කියන්නේ නැහැ ඒ අය ගන්නවා කියලා. අපේ අය ගත්තෙත් නැහැ. මේ වෙළෙදපොල තත්ත්වයන් නිසා මිල අඩු වැඩි වෙන්නේ. ඉල්ලුම සැපයුම නිසා. මිල වැඩි වෙනකොට ආනයනය කරලා හරි දෙන්න ඕනේ. බිත්තරය මිල වැඩි වෙනකොට එය පාලනය කිරීමට අපි ආනයනය කරලා ජනතාවට දුන්නා.