Spread the love


නිමල් රාජපක්ෂ-

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මාන 07ක ගොවි ජනතාවගේ හැකියාව හා ඉල්ලීම මත අරඹන ලද ව්‍යාපෘති රැසක් මේ වනවිට එම ගම්මානවල ඉතා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සදහා මුල්‍යමය ප්‍රතිපාදන වශයෙන් රුපියල් කෝටි පහක් වටිනා උපකරණ ලබා දි ඇතැයිද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා
පවසයි.

ඇමතිවරයා මේ බව පැවසුවේ ජදුර කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයට හා කච්චිගල්ආර ඇඹුල් කෙසෙල් සැකසුම් කලාපයට ජලය ඉසින යන්ත්‍ර, පසු අස්වනු නාස්තිය අවම කරලීම සඳහා වන ප්ලාස්ටික් ඇසුරුම් උපකරණ, කෘෂි හානි වැලැක්වීම සදහා අවශ්‍ය වන ආරක්ෂිත දැල්, හා මුල්‍යමය වියදම් සඳහා අවශ්‍ය වන මුල්‍යමය ප්‍රතිපාදන ඇතුළු රුපියල් කෝටි පහක් වටිනා උපකරණ කට්ටල බෙදා දුන් අවස්ථාවෙිදිය .

මේ සදහා වන වැඩ සටහනක් අගුනකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විනි.

මෙම අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ ක‌ෙළ්ය.

මේ රට පාලනය කළ හැම ආණ්ඩුවක්ම සම්පත් බොදා දීමේ දී ඒවා ලබා දුන්නේ තමන්ගේ පාක්ෂිකයින්ටයි. මේ රට වැඩිම කාලයක් පාලනය කරපු එක්සත් ජාතික පක්ෂය, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පැළ බෙදා දීමක දී වුනත් ඒවා දුන්නේ තමන්ට ඡන්දය දුන්න මිනිස්සුන්ට.

ජනතා විමුක්ති පෙරමුණත් පොදු පෙරමුණක් අමාත්‍යාංශ ගණනාවක ඇමැතිකම් කළා. ධීවර අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය වගේ මම අමාත්‍ය තනතුරු දැරූ අමාත්‍යාංශ තිබුනේ ඔවුන් යටතේ.

අනුර කුමාර දිසානායක මහත්තයා වැව් දහසක් වැඩ සටහන යටතේ ගොවි සංවිධාන තෝරාගත්තෙත් තමන්ගේ පක්ෂයේ අය හිටපු තැන්. ඒ වගේම ධීවර සමිති කියළා කොළඹට ගෙන්වාගත්තේ වළස්මුල්ලේ මිනිස්සු.

ඒ නිසා මේ රට පාලනය කරපු කිසිම කෙනෙකුට අපි ඔය වැරදි කළේ නැහැ කියළා ඇඟ බේරාගන්න පුළුවන්කමක් නැහැ. නමුත් මෙම තත්ත්වය අපි වෙනස් කළ යුතුයි. අද රුපියල් කෝටි පහක උපකරණ අපි කෘෂිකාර්මික කටයුතු සඳහා බෙදා දෙනවා. මෙතැන ඉන්නේ මට ඡන්ද දුන්න අය නොවෙයි. මගේ මැතිවරණ පෝස්ටර් ඉරපු අයත් මෙතැන ඉන්නවා. මට ඡන්දය දෙන්න එපා කියළා ගෙවල් ගානේ කිය කිය ගියපු අයත් මෙතැන ඉන්නවා. නමුත් මේ ප්‍රතිලාභ ලබා දීමේ දී අපි බැලුවේ ඒ අයගේ හැකියාවන් විතරයි.