Spread the love

මාර්ග අනතුරු හේතුවෙන් මිය ගිය අය සිහි කිරීමේ ජාත්‍යන්තර වින්දිත දිනයඅද ට යෙදී ඇති බැවින් එයට සමගාමීව හඳුනානොගත් වාහන අනතුරු හේතුවෙන් මියගිය පුද්ගලයින් 07 දෙනෙකු සඳහා ඔහුගේ හෝ ඇයගේ පවුලේ යැපෙන්නන් වෙනුවෙන් වන්දි මුදල් පරිත්‍යාග කිරීම අද (20) මාකුඹුර බහුවිද මධ්‍යස්ථානයේදී ප්‍රවාහන රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා අතින් සිදු කෙරිණ.

මෙහිදි හඳුනානොගත් වාහන අනතුරු හේතුවෙන් මියගිය පුද්ගලයින් 07 දෙනෙකු සඳහා ඔහුගේ හෝ ඇයගේ පවුලේ යැපෙන්නන් වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් රුපියල් දාහත් ලක්ෂ පනස් දහසක්ද (175000/-) ආබාධිත වුවන් සඳහා එක් අයෙකුට රු. එක්ලක්ෂ පනස් දහස (150000) බැගින් රුපියල් ලක්ෂ හයක්ද (රු.600000/-) ද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යතුමා අතින් පිරිනමන ලදි.

මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවේ අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියන්න මහතා කියා සිටියේ – ජාත්‍යන්තර වින්දිත දිනය සැබෑ ලෙස සමරන්නේනම් 2023 වසරේ මාර්ග අනතුරු සංඛ්‍යාව අඩුවිය යුතු බවයි. දැනට දෛනිකව 8-10ත් අතර සංඛ්‍යාවක් රිය අනතුරු හේතුවෙන් මියයන බවත් වාර්ෂිකව රිය අනතුරු 45000ක් පමණ සිදුවන බවත් වාර්තා වී ඇති බවද, මෙම තත්වය අප රටේ සමාජ හා ආර්ථික ප්‍රශ්ණයක් බවටද පත්වි ඇති බවද මේ තත්වයන් අවම කිරිම සඳහා පාර්ලිමේන්තුව විසින් නව නීති රීති සම්මත කර ඇතිබවද නව රියදුරු බලපත්‍ර ලබා දීමේදි අකුසලතා ක්‍රමය යටතේ වැරදි සඳහා දඩුවම් පැමිණවීමේ ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බවද පැවසීය මේ සඳහා ශ්‍රි ලංකා රථවාහන පොලීසිය ඇතුළු විවිධ පාර්ශවයන් සහයෝගය හා දායකත්වය ලබා දෙන බවද මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාව විසින් නිරන්තරයෙන් මහජනතාවට දැනුවත් කරන බවද වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසීය.

මෙහිදි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් පාසැල් සිසුන් වෙනුවෙන් සවිධානය කර තිබු චිත්‍ර තරඟාවලියේ ජයග්‍රහාකයින් හට ත්‍යාග ලබාදීමද , ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් සිදු කරන ලදි.

මෙම අවස්ථාවට සඳහා ප්‍රවාහන අමාත්‍යාංශ අතිරේක ලේකම් ලලිත්ද අල්විස් ,අතිරේක ලේකම් එල්.පී තිලකරත්න, මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත වීරසිංහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේසභාපති ශවේනද්‍ර ගමගේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශන විජේසිංහ, ජාතික රෝහලේ පුහුණු කිරීමේ ප්‍රධාන හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යාණිද සොයිසා මෙනෙවිය ඇතුළු නිලධාරින් රැසක් සහභාගිවුහ.