Spread the love

මහජන ආරක්ෂක පනත යටතේ 2022 මැයි 6 වන දින 2278/22 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විරෝධය පල කරන බව සදහන් කරයි.
සති 5ක කාලයක් තුල දෙවන වරටත් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව අපි නිරීක්ෂණය කරමු
විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වශයෙන් මිලියන 7.3ක විදුලි පාරිභෝගිකයින් සහ මිලියන 21කට අධික බිළිදු දරුවාගේ සිට වයස්ගත රෝගියා දක්වාවු විදුලිය භාවිතකරන්නන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකිරීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මුලික වගකීම්කාර්යය වන්නේ ය.

ප්‍රමාණවත් විදුලි සැපයුමක් නොමැති වීම හේතුවෙන් කෙරෙන අඛන්ඩ විදුලි කප්පාදුව වත්මන් උද්ඝෝෂණ හා මහජනතාව අතර නොසන්සුන් තාවය ත්‍රීව්‍ර කිරීමට හේතු වී ඇතැයි අපි විශ්වාස කරමු. පාරිභෝගිකයින්ගේ යහපතට බලපාන කාරණා සම්බන්ධයෙන් රජයට උපදෙස් ලබාදීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වගකීම වන අතර ඒ් අනුව මෙම අවශ්ථාවේදී මහජන හදිසි තත්වයක් ක්‍රියාවට නැගීම නිසා ඇති විය හැකි මහජන කැළඹිළි හේතුවෙන් වත්මන් ආර්ථික තත්වය තවදුරටත් අස්ථාවර වී පොදු ජනතාවට තව තවත් දුෂ්කරතා ඇති කෙරෙන හෙයින් හා එවැනි තත්වයක් තුල පාරිභෝගික හා පාර්ශ්වකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත පැවරී ඇති වගකීම ඉටුකිරීමට බාධා පැමිණෙන හෙයින් හදිසි තත්වයක් බලාත්මක කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව රජයට උපදෙස් ලබාදෙයි.


අපගේ මෙම උපදේශය හා අදාල කරුණු විෂයානුබද්ධව හා බරපතල ලෙස සැළකිල්ලට ගනු ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැඩි විශ්වාසය පල කරයි