Spread the love

සෞදි අරාබිය එරට ක්‍රියාත්මක සෞදි ගුවන් සේවයට අමතරව Riyad Air නමින් නව ජාතික ගුවන් සේවයක් ඇරඹීමට සූදානමින් සිටින බව පවසයි. එහිදී නව ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස Etihad ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ටෝනි ඩග්ලස් පත් කෙරී ඇතැයි සඳහන් වෙයි.

සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුන්ගේ උපදෙස් අනුව මෙම ගුවන් සේවය ඇරඹීමට නියමිතව තිබේ.

එරට රියාද් අගනුවර සිට ක්‍රියාත්මක මෙම ගුවන් සේවය සෞදි මහජන ආයෝජන අරමුදල (PIF) මගින් පාලනය කෙරේ.

එහිදී සෞදි අරාබිය සහ ආසියාව, යුරෝපය සහ අප්‍රිකාව සම්බන්ධ කරමින් ගුවන් මෙහෙයුම් සිදු කිරීම මෙම Riyad Air ගුවන් සේවයේ අරමුණ වී තිබේ.

එසේම මෙම ගුවන් සේවය හරහා ඍජු හා වක්‍ර රැකියා ලක්ෂ 2ක් පමණ බිහිවනු ඇතැයි අපේක්ෂාව බවත්, එය සෞදියේ බොරතෙල් හැර සිදුකරන දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනය වෙත ඩොලර් බිලියන 20ක් එකතු කරනු ඇතැයි සෞදි මහජන ආයෝජන අරමුදල (PIF) පවසා සිටියි.