Spread the love

ආහාර මඟින් ඇතැම් රෝග සුව කළ හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාරවලට නොරැවටෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඇතැම් ආයතනවල නම් භාවිත කරමින් එම ප්‍රචාර සිදුකෙරෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා මේ බව සඳහන් කළේය.

සාමාන්‍යයෙන් ආහාරයකින් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ, පෝෂණය හා ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව. ලෙඩ රෝග සුව කරන ඒවට අපි කියන්නේ ඖෂධ කියලා. ලෙඩවලට ප්‍රතිකාර කරන්න ආහාරවලට බෑ. ආහාරවලට කවුරු හරි රෝග සනීප කරන්න පුළුවන් කිව්වොත් ඒ සඳහා ඇත්තටම රටේ නීතිය අනුව ප්‍රධාන ආහාර බලධරයාගෙන් අවසරයක් තිබිය යුතුයි. අපි දකිනවා නොයෙකුත් ආයතනවල නම් පාවිච්චි කරලා, අහවල් රෝගයට හොඳයි, පිළිකාවට හොඳයි කියලා ආහාර ප්‍රචාරණය කරනවා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය මඟින්. ඒ ප්‍රචාරයන් බොහෝ විට වැරදි සහගතයි. බොහෝවිට රෝගයක් සුව කරන්න පුළුවන් කියලා ආහාරයකින් ප්‍රචාරය කරන්න බෑ. එහෙම කරනවා නම් ඒ සඳහා විධිමත් සායනික දත්ත ඉදිරිපත් කරලා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර බලධාරයාගේ අවසර ගත යුතුයි. එසේ නොමැතිව කරන එක නීතිවිරෝධී යැයිද පැවසුවේය.