Spread the love


මෙරට සීනි අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතින බව සෙවණගල සීනි සමාගමෙ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කැලුම් ප්‍රියංකර ලියනගේ මහතා පවසයි.
සීනි නිෂ්පාදනය ඉහළ දැමීම සදහා භාවිත කළ හැකි උක් ප්‍රභේද සොයාගැනීම සම්බන්ධ නිරික්ෂණ මෙම දිනවල සිදු කෙරෙමින් පවතින බවයි ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ.

ලබන වසරේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාකාරී සැලසුමක් මාස තුනක් තුළ දී සකස් කර භාර දෙන ලෙස භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක කාරක සභාව අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

සීනි පරිභෝජනය පිළිබඳ මෙරට ජනතාව තුළ පවත්නා දැනුම ඉතාමත් අල්ප හෙයින් සිනී පරිභෝජන රටාව පිළිබඳ ඔවුන් දැනුම්වත් කිරීමට ද ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කාරක සභාව, නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සීනි කර්මාන්ත ශාලාවල අතුරු නිෂ්පාදනයක් වන එතනෝල් මේ වනවිට අතිරික්තයක් ලෙස පවතින බවට ද එම කාරක සභාවේ දී කරුණු අනාවරණය වී තිබේ.

ඒ අනුව එම එතනෝල් ප්‍රමිතියක් සහිත ව අපනයනය කිරීමට වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳ අවධානය යොමු ව ඇති බව නිලධාරීන් එම කාරක සභාව හමුවේ සඳහන් කර ඇත.