Spread the love

අධ්‍යයන කඩඉම් ඉහළින් ජයගැනීමට ක්‍රීඩා කටයුතුවල නියැලීම බාධාවක් නොවන බව සමාජයට පසක් කළ දක්ෂ සිසුවෙක් පිළිබඳව කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් තොරතුරු වාර්තා වෙයි.

ප්‍රවීන් ජයතිලක ජාත්‍යන්තර ජයග්‍රහණ රටට අත්කර දෙන අතරවාරයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ 9ක් හිමිකරගෙන තිබුණි.

එමෙන්ම 2022 ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී පිරිමි මීටර 400 ධාවන ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත්තේ ද ප්‍රවීන්ය.

එම ජයග්‍රහණය සමග රටට කීර්තියක් අත්කර දුන් ප්‍රවීන් ඇගයීමේ උත්සවයක් ද විද්‍යාලය විසින් පසුගියදා සංවිධාන කර තිබුණි.

ප්‍රවීන්, 2022 බස්නාහිර පළාත් මලල ක්‍රීඩා තරගාවලියෙන් සහ 2022 ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියෙන් ද පිරිමි මීටර 400 ධාවන ඉසව්වලින් ප්‍රථම ස්ථාන ඇතුළුව ජයග්‍රහණ රැසක හිමිකරුවෙකි.

එතරම් ජයග්‍රහණ ලබන්නේ ඔහු මලල ක්‍රීඩාව වෙනුවෙන් උපරිම ලෙස කැපවන නිසා බව අමතුවෙන් කිවයුතු කාරුණක් නොවේ.

නමුත් ඔහුගේ විශේෂත්වය වන්නේ මලල ක්‍රීඩාවට එතරම් කැපවනවා වගේම අධ්‍යාපනය වෙනුවෙනුත් කාලය වෙන්කොට ඒ තුළින් ද විශිෂ්ට ජයග්‍රහණ ලැබීමය.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 9 ක් ලබාගන්නටත් ප්‍රවීන් සමත්වුණි.

තම ජයග්‍රහණ ගැන අදහස් දැක්කවූ ප්‍රවීන්,

“ඉස්කෝලයෙන් ලොකු වැඩපිළිවෙළක් යටතේ කොරෝනා කාලෙයේ ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ඉගැන්නුවා. ප්‍රශ්න පත්‍ර කළා. ලොකු සහයෝගයක් දුන්නා විදුහල්පතිතුමා පංති භාර ගුරුවරු, ආදි ශිෂ්‍ය මණ්ඩලය ඇතුළු ගොඩක් දෙනාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ක්‍රීඩා කරන්න බය වෙන්න එපා. ක්‍රීඩා කරා කියලා ඉගනගන්න බැරිවෙන්නේ නැහැ.  වේලාව හරියට කළමනාකරණය කරගෙන දෙකම කරගත්තොත් ගොඩක් ඉදිරියට යන්න පුළුවන්.”