Spread the love

සෞඛ්‍ය නොවන කාර්යය මණ්ඩලය සඳහා ධනාත්මක සන්නිවේදනය සහ අන්තර්පුද්ගල සබඳතා වැඩිදියුණු කිරීම තුළින් සතුටු පවුලත් ඇති කිරීමට (ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම) පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක සමාරම්භක අවස්ථාව, ගම්පහ වැඩබලන දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්.එස්. කිත්සිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් පවත්වනු ලබන මෙම වැඩසටහන අද (21) සහ හෙට (22) දවස පුරා පැවැත්වේ. මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙන්නේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ වෛද්‍ය ගාමිණී සමරවික්‍රම මහතායි.

මේ අවස්ථාවට එක්වූ වැඩබලන දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්.එස්. කිත්සිරි මහතා සඳහන් කළේ, මෙදින පුහුණුව ලබන සියලු දෙනා රාජකාරී කටයුතුත් සමඟ සමාජයේ පවුල් ප්‍රශ්නවලට මැදිහත් වන නිලධාරීන් පිරිසක් හෙයින් පුහුණුවෙන් ලබන දැනුම අතිශයින් වැදගත් වන බවත් දැනුම හරහා සමාජයට ලොකු සේවයක් ඉටුකළ හැකි බවත්ය.

මේ දැනුම විද්‍යාත්මකව ප්‍රශ්න විසඳන්න යොදා ගත හැකියි. අනවබෝධය පදනම් කර ගෙන සමාජයේ ඇති වූ ප්‍රශ්න විසඳන්න මේ මගින් හැකි වෙයි. අද සමාජය ගත් විට ඉතා වේගයෙන් සිතා ගත නොහැකි ලෙස ගැටලු උග්‍ර වී තියෙනවා. මේ තත්ත්වය තව තව උග්‍ර වන්නේ ඇති වී තිබෙන සමාජ, ආර්ථික ප්‍රශ්න එක්කයි. මේ ගැටලුවලට මුහුණ දී ඇති අයට ප්‍රශ්න විසඳාගන්න මේ පුහුණුවෙන් ලැබෙන දැනුම භාවිතා කළ හැකි බව ද කිත්සිරි මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

වෛද්‍ය ගාමිණී සමරවික්‍රම මහතා සඳහන් කළේ, සෑම ජීවිත අවස්ථාවකදී ම පුද්ගලයාගේ කායික, මානසික, සමාජයීය හා අධ්‍යාපනික යන සතර පැතිකඩයන්හි ම ලබන සුවය, සතුට, සාමය, සහනය, තෘප්තිය, සැනසුම හා ජයග්‍රහණ මත සාර්ථක ජීවිතයක් ලබා ගත හැකියි. නිරන්තර වෙනස්වීම ජීවිතයේ ස්වභාවය බවත් ඒ නිසා වෙනස්වීම අභියෝගයක් ලෙස භාර ගත යුතු බවත්ය.

මේ අවස්ථාවට වෛද්‍ය සංජීව විජේසිංහ, ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය චාමින්ද, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි සේවයේ නියුතු වනිතා සංවර්ධන නිලධාරීන්, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්, උපදේශන නිලධාරීන්, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.