Spread the love


නිමල් රාජපක්ෂ-

නියගය හේතුවෙන් ඉදිරියේදී ඇතිවන ආහාර හිගයට පිළියමක් ලෙස සත්ව ආහාර හා බියර් නිෂ්පාදනය සදහා සහල් යොදා ගැනීම වහාම අත්හිටුවිමට පියවර ගන්නැයි අමාත්‍යංශ ලේකම් වරයාට කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දෙයි.
දැනට පවතින දැඩි නියඟය හේතුවෙන් ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟයට මුහුණ දීම සඳහා මේ වනවිට රට තුළ පවතින සහල් තොග ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් වහා ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ සම්බන්ධව සකස් කළ ලිපියක් වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ජනාධිපති ආහාර සුරක්ෂිතතා කමිටුවට ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්ක කිහිපයක වගා කර ඇති ඇතැම් කුඹුරු ඉඩම්වල ගොයම් තවමත් පීදී නැති අතර ඇතැම් ප්‍රදේශවල ගොයම් කිරට නමන තත්ත්වයක් පවතී. එහෙත් පවතින දැඩි නියඟය සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගොයම් පැසීමට තරම් අවශ්‍ය ජලය නොමැතිවීමේ ගැටළුවට ගොවීහු මුහුණ පා සිටිති.

විශේෂයෙන් උඩවළවේ ජලාශය යටතේ පවතින කුඹුරු අක්කර 50,000කට අධික ප්‍රමාණයක් ජල හිඟය නිසා විනාශ වීමේ අවදානමක් මතු වී තිබේ. මෙම කුඹුරුවලට අඩු තරමින් තවත් වතුර මුර දෙකක්වත් ලබා දිය යුතුය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද ගොයම් පීදෙන කුඹුරුවලට උග්‍ර ජල හිඟයක් පවතී. ඉදිරි දින කිහිපය තුළ සැළකිය යුතු වර්ෂාපතනයක් නොලැබුනහොත් යල කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න නොලැබීම නිසා ඉදිරි කාලය තුළ සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් මතු විය හැකියැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.