Spread the love

පාතාල කල්ලි නායකයෙකු බව කියන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (19) අත්අඩංගුවට ගත් සැකකරුගේ නම  මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් ලෙස ප්‍රකාශ කිරීම තුළින් එම නම් සඳහන් තැනැත්තාගේ පවුලේ සාමාජිකයින්ට අගතියක් සිදුවී ඇති බව සඳහන් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් යන අයගේ සහෝදරයෙකු විසින් මෙම මෝසම ගොනුකර ඇත. මෙම මෝසම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ දසුන් පෙරේරා මහතා කියා සිටියේ ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් නොවන බවය.මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් සහ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු එක් පුද්ගලයෙකු නොව, පුද්ගලයින් දෙදෙනකු බවද ඔහු පැවසීය.මේ හේතුවෙන් මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් යන අයගේ පවුලේ ඥාතීන්ට නීතිමය වශයෙන් මෙන්ම සමාජීය වශයෙන්ද ගැටලු රැසකට මුහුණපෑමට සිදුවී තිබෙන බවත් මේ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු තවමත් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ පසු එම ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස නීතිඥවරුන්ට දන්වා සිටියා ය.