Spread the love

නිමල් රාජපක්ෂ-

සංචාරකයින් පිරිසක් රැගත් බස්රථයක් වස්කඩුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී දුම්රියක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුර සිදුවී ඇත්තේ අද අළුයම 4.30 පමණ බව දුම්රිය පාලක මැදිරිය පවසයි. අනතුර සිදු වුවක් දුම්රිය ධාවනයේ කිසිදු ප්‍රමාදයක් නොමැති බවද පාලක මැදිරිය පවසයි.

ඒ අනුව අනතුරෙන් සංචාරකයින් දෙදෙනෙක් සුළු තුවාල ලබා ඇති බවයි කළුතර උතුර පොලිසිය සඳහන් කළේ.

කටුනායක ගුවන්තොටුපළ දක්වා සංචාරකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අලුත්ගම සිට හලාවත දක්වා ගමන් කරන අංක 8304 දරණ බලවේග කට්ටල දුම්රිය මෙසේ අනතුරට මුහුණපා ඇත.

චෙක් රාජ්‍ය බලා පිටත්වීමට නියමිත සංචාරකයින් පිරිසක් එක් හෝටලයකින් රැගෙන තවත් හෝටලයක සිටින සංචාරකයින් පිරිසක් රැගෙන යාමට යමින් සිටියදී අනතුර සිදුව තිබේ..

අනතුරෙන් බස් රථයේ පිටුපස කොටසට දැඩි හානි සිදුව ඇති අතර, දුම්රියටද හානි සිදුව තිබුණි.

දුම්රිය රියදුරුගේ ඇසට සිදු වූ සුළු තුවාල හේතුවෙන් ප්‍රතිකාර සදහා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලබා ඇති සංචාරකයින් සඳහා සුවසැරිය ගිලන් රථයෙන් ප්‍රතිකාර ලබා දී ඇති අතර, අනතුරට පත් දුම්රියේ සිටි මගීන් මරදාන බලා ධාවනය වන වෙනත් දුම්රියකින් ඔවුන්ගේ ගමනාන්ත සැලසීමට කටයුතු කර ඇත.