Spread the love

නිමල් රාජපක්ෂ-

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් ජ්‍යෙෂ්ඨ පාසල් ශිෂ්‍ය නායකයින් වෙනුවෙන් සංවිධානය කරන ළමා ආරක්ෂාව පිළිබඳ “ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන” සඳහා 2023 වර්ෂයේ පාසල් ලියාපදිංචිය ආරම්භ කෙරේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධ වෙමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබන ළමා ආරක්ෂාව පිළිබඳ “පාසල් ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන” 2023 වර්ෂය සඳහා පාසල් ලියාපදිංචිය ආරම්භ කර ඇත. මෙම වැඩසටහන සඳහා රජයේ පාසල්/අර්ධ රාජ්‍ය පාසල්/පිරිවෙන්/පෞද්ගලික පාසල් සහ අන්තර්ජාතික පාසල් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්ෂිකව ලියාපදිංචි විය යුතුය. 2022 වර්ෂයේ මෙම වැඩසටහන සඳහා ලියාපදිංචිය ලබා නොගත් පාසල්වලට 2023
වසර සඳහා ලියාපදිංචි විය හැකිය. ලියාපදිංචි වීමේ අවසන් දිනය 2023.04.30 වේ.
ළමා මිතුරු සංකල්පය සහ ළමා ආරක්ෂාව පාසල තුළ ස්ථාපිත කිරීම සඳහා ශිෂ්‍ය නායකයන්ගේ ක්‍රියාකාරී මැදිහත්වීම ලබා ගැනීම මෙම වැඩසටහන මගින් සිදු කිරීමට අපේක්ෂිතය.
ශිෂ්‍ය නායකයන් ප්‍රමුඛ පාසල් ප්‍රජාවගේ ළමා අයිතිවාසිකම් සහ ළමා ආරක්ෂාව පිළිබඳව දැනුම කුසලතා සහ ආකල්ප සංවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ. ළමා ආරක්ෂාවේ වගකීම සහ වගවීම දරන ශිෂ්‍ය නායක ප්‍රජාවක් බිහිකිරීම මෙම වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ. යොවුන් වයසේදී ශිෂ්‍ය තානාපතින් ලෙස ලබා ගන්නා දැනුම, අනාගත වැඩිහිටියන් ලෙස හෝ වෘත්තිකයන් වශයෙන් විවිධ ක්ෂේත්‍ර වල නියැලීමේදී ළමා ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබාදීම, ළමා අපයෝජනයට එරෙහිවීම, ළමයින් ආරක්ෂා කිරීමට හැකි සෑම අවස්ථාවකම පියවර ගැනීම ආදියට දායකවිය හැකි ළමා ආරක්ෂක නියමුවෙක් නිර්මාණය කිරීම මෙහිලා ප්‍රමුඛ කරගැනේ.
ළමා ආරක්ෂාව පිළිබඳ ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන සඳහා සහභාගිවීමට කැමති පාසල් සඳහා ලියාපදිංචි වීමේ පෝරමය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිල වෙබ්
අඩවියෙන් ( www.childprotection.gov.lk ) බාගත කරගත හැකිය. වැඩිදුර තොරතුරු ප්‍රධාන කාර්යාලයෙන් 011-2778911 දිගුව (142 හෝ 144) හෝ අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සේවයේ නියුතු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරී(DCPO), දිස්ත්‍රික් මනෝ සමාජයීය නිලධාරී (DPSO)හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන්ගෙන් (DivCPO)ලියාපදිංචිවීමේ පෝරමය සහ තොරතුරු
ලබාගත හැකිය.