Spread the love

අද වන විට ශාසනයට ඇතිවී තිබෙන පරිහානියට මහා නා හිමි නමක්ද වගකිය යුතුව ඇති බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

පුවත්පතක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

භික්ෂු කථිකාවත් පනත සම්මත කරලා ඔය කියන නිත්‍යානුකූල තත්ත්වය ඇති කරලා දෙන්න මම පෞද්ගලිකව විශාල මහන්සියක් ගත්තා. මේ නීතියේ අවශ්‍යතාව 1956 සිටම මතුව තිබුණා. එදා සම්බුද්ධ ජයන්ති කොමිෂන් සභාව මේ නීතිය සම්මත කළා. ඉන් පසුව චන්ද්‍රිකා රජයෙන් මේ සම්බන්ධ කරුණු විමර්ශනය කරන්න කොමිෂමක් පත් කළා. ඒ කොමිෂමත් මේ නීතියේ අවශ්‍යතාව අවධාරණය කළා. මම පෞද්ගලිකව වසර විස්සකට ආසන්න කාලයක් මේ නීතිය සකස් කරලා සම්මත කරගන්න මහන්සි වී තිබෙනවා. ඉන් පසුව මම බුද්ධ ශාසන අමාත්‍යවරයා විදියට ථෙරවාදි කථිකාවත් පනත හා විහාර දේවාලගම් පනත සංශෝධනය කරගන්න වසර දෙකක් මහන්සි ගත්තා. ඒ සඳහා සාකච්ඡා වට පනහකට වැඩි ප්‍රමාණයක් කොළඹ හා කොළඹින් පිට මහනාහිමිවරුන්ගේ සහභාගිත්වයෙන් පවත්වා තිබෙනවා. අවසානයේදී සියලුම ස්වාමීන්වහන්සේලා එකඟ වූ කෙටුම්පත තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේ. ඒ කෙටුම්පත සම්මත කරගන්න නියමිත දිනයේ එක් මහානායක හිමිනමක් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට දුරකථනයෙන් කතා කරලා කළ බලපෑම නිසා තමයි ඒ නීතිය සම්මත කරගන්න බැරි වුණේ.

අද ශාසනයට වෙන හානිය ගැන ඒ භික්ෂූන් වහන්සේලා වගකීම බාරගන්න ඕනේ. ඒ වගේම අපි එදා යෝජනා කළා රාජ්‍ය වියදමින් සංගායනාවක් පවත්වමු කියලා. එවක ජනාධිපති මෛත්‍රිපාල හා අගමැති රනිල් වික්‍රමසිංහත් ඒකට එකඟ වුණා. ඒකටත් සමහර භික්ෂූන් වහන්සේලා විරුද්ධ වුණා. ශාසනයේ හදන්න දෙයක් නෑ කියලා ඒ භික්ෂූන් වහන්සේලා කිව්වා. ඒ නිසා ඒකත් නතර වුණා. අපි පාර්ලිමේන්තුව තුළ මේ සම්බන්ධයෙන් කළ යුතු දේ කරලා තියෙනවා.