Spread the love

අල්කයිඩා ත්‍රස්ත සංවිධානයට ඍජුවම සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ත්‍රස්ත කටයුතු මෙහෙයවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට විදෙස්ගතව සිටින මෙරට ව්‍යාපාරිකයන් වූ අහමඩ් තාලිෆ් ලුක්මාන් තාලිබ් සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු සිව් දෙනකු ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන ගෙන වහා අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා විවෘත වරෙන්තු නිකුත් කළේය.

ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන ගැනීමට ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තු නිකුත් කෙරුණේ බේරුවල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙරට සහ ඇමරිකාවේ මැණික් ව්‍යාපාරිකයකු වන අහමඩ් තාලිෆ් ලුක්මාන් තාලිබ්, ඔහුගේ පුත්‍රයා වන අහමඩ් ලුක්මාන් තාලිබ්, තිහාරිය ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් ලෙබ්බේ අබ්දුල් බායිස් සහ මොහොමඩ් ෆාසි මොහොමඩ් රිෆාන් යන අයටය.

මේ සැකකරුවන් අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සමග ඍජුව සම්බන්ධ වෙමින් මෙරටට වරින් වර පැමිණ ශ්‍රි ලංකාව තුළ අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ මතවාද පැතිරවීමට කටයුතු කර ඇති බවට මෙරට සහ විදෙස් බුද්ධි අංශ කළ අනාවරණය හේතුවෙන් මේ වන විට විදෙස්ගතව සිටින මොවුන් සිව් දෙනා ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන නිකුත් කර අත්අඩංගුවට ගැනීමට ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කළේය.

මේ සිද්ධියේ පළමු සැකකරු වන අහමඩ් තාලිෆ් ලුක්මාන් තාලිබ් සහ ඔහුගේ පුත්‍රයා මේ වන විට ඔස්ට්‍රේලියාවේත්, 9 වන සැකකරු වන තිහාරිය ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් ලෙබ්බේ අබ්දුල් බායිස් නමැත්තා තුර්කියේත්, 16 වන සැකකරු වන තිහාරිය ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් ෆාසි මොහොමඩ් රිෆාන් යන අය කටාර් රාජ්‍යෙයේත් පදිංචිව සිටින බවට බුද්ධි අංශ මඟින් තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙහි පළමු සැකකාර පහසුකම් සපයමින්, අවි පුහුණුව ලබමින් අහමඩ් තාලිෆ් ලුක්මාන් තාලිබ් නමැත්තා අල්කයිඩා සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු බවට සදහන් කරමින් ඔස්ට්‍රේලියානු පොලිසිය මෙරට ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයිද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

එමෙන්ම අල්කයිඩා ත්‍රස්ත සංවිධානයට පහසුකම් සැපයූ බව සඳහන් කරමින් ලුක්මාන් තාලිෆ්ට අයත්ව තිබූ අමෙරිකා එක්සත් ජනපදයේ දේපළ සියල්ල එරට රජය තහනමට ලක් කළ බව දන්වමින් අමෙරිකා එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී ඇතැයිද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමට නියෝග නිකුත් කරමින් අදාළ සිව් දෙනා ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන ගෙන වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තු නිකුත් කළේය.