Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කළ සංචිතයට මේ දක්වා ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩාකර නොමැති ක්‍රීඩකයින් දෙදෙනෙක් නම්කර තිබේ.

ඒ නිසල තාරක හා මිලාන් රත්නායක යි.

ඔවුන් දෙදෙනාම දකුණත් මඳවේග පන්දු යවන්නන් වීම විශේෂත්වයකි.

කෙසේ නමුත් ඉන් නිසල තාරක තුන්ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින්ද දස්කම් දක්වා තිබේ.

ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ නිසල මේ වනවිට 33 හැවිරිදි වියේ පසුවෙයි.

ඔහු මේ දක්වා පළමු පෙළ තරග 107 (ඉනිම් 174)කට ක්‍රීඩාකර කඩුලු 257ක් බිඳහෙළා ඇත.

ඉනිමක කඩුලු 05 හෝ ඊට වැඩියෙන් දවාගත් අවස්ථා 10කට හිමිකම් කියන නිසල, ලකුණු 50කට කඩුලු 07ක් ලෙසින් ඉනිමක හොඳම පන්දු යැවීම සනිටුහන් කර තිබේ.

එමෙන්ම පළමුපෙළ ශතකයක් (ලකුණු 107) හා අර්ධ ශතක 11ක් අන්තර්ගත නිසලගේ පිතිකරණ දක්ෂතා අතර ලකුණු 2,358ක් වෙයි.

මෙරට ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ කිහිපයක් වෙනුවෙන්ම ක්‍රීඩාකර නිසලගේ වත්මන් ක්‍රීඩා සමාජය වන්නේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයයි.

මේ අතර නිසල සමගින් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ඉඩක් වෙන්කරගැනීමට සැරසෙන අනෙක් ක්‍රීඩකයා වන මිලාන් රත්නායක වාරියපොල ශ්‍රී සුමංගල විදුහලේ ආදි සිසුවෙකු වේ.

කොළඹ මුවර්ස් ක්‍රීඩා සමාජයේ ආරම්භක පන්දු යවන්නෙකු ලෙසින් කටයුතු කරන මිලාන් පළමුපෙළ තරග 39කදී (ඉනිම් 66) කඩුලු 79ක් බිඳහෙලා සිටියි.

ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම වන්නේ ලකුණු 36කකට කඩුලු 05ක් දවාලීමයි.

එමෙන්ම හෙතෙම අර්ධ ශතක 02ක් සමගින් පළමුපෙළ ලකුණු 633ක් රැස්කරගෙන සිටින පිතිකරුවෙකුද වේ.

නිසල මෙන්ම මිලාන් දෙදෙනාම මෙම වසරේ ඉකුත් මැයි මස කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති ඇෆ්ගනිස්තාන “ඒ” කණ්ඩායමට එරෙහි නිල නොවන සිව් දින තරගයට ක්‍රීඩාකළහ.

එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක හා ලකුණු 26ක් ජයක් ලැබූ අතර, එම ජයග්‍රහණය වෙනුවෙන් මෙම දෙදෙනාම දායක වූහ.

ඉන් ඉහල දස්කම් දැක්වීමට සමත් වූ නිසල තාරක ඇෆ්ගන් ඒ දෙවැනි ඉනිමේ කඩුලු 06ක් ලකුණු 42කට දවාගනිමින් කැපී පෙනෙන පන්දු යැවීමක නිතර විය.