Spread the love

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලයෙන් සිදුවු සේවාව ඉතා කඩිනමින් අපරාධය සිදුවු ස්ථානයේ දීම ඉටුකර ගැනීමේ හැකියාව වෝහාරික ජංගම විද්‍යාගාරයක තුළින් සිදු කල හැකි වෙයි.ඒ අනුව ලංකාවේ බරපතළ අපරාධ සිදුවන ස්ථානවලට මෙම රථය යොමු කිරීමෙන් ඉතා පහසුවෙන් අපරාධ සම්බන්ධ සොයා බැලිම ඉටුකර ගත හැකි බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි

දේශබන්දු තෙන්නකෝන් මහතා එසේ පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදුකළ සේවාව පුළුල් කිරීමේ අරමුණින් අපරාධ පිළිබඳ සොයාබැලීම සඳහා වෝහාරික ජංගම විද්‍යාගාරයක් අද (15)හදුන්වාදුන් අවස්ථාවේදීය. ඒ අනුව ලංකාවේ බරපතළ අපරාධ සිදුවන ස්ථානවලට මෙම රථය යොමු කිරීමෙන් සිය කටයුතු ඉතා පහසුවෙන් සිදු කළ හැකිවෙයි.

දකුණූ ආසියාවේ මෙවැනි වෝහාරික ජංගම විද්‍යාගාරයක් ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙය බවට තමා විශ්වාස කරන බව ද තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව අපරාධ විසඳීමේ දී මෙම ක්‍රියාවලිය ඉතාම සාධනීය කටයුත්තක් ලෙස තමා හඳුන්වා දෙන බවත්, මෙමඟින් විශේෂයෙන් සංවිධානාත්මක මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම්, සාහසික අපරාධ, විශාල පරිගණක අපරාධ හා මුල්‍ය වංචා වැනි දෑ විමර්ශනය කිරීමේ හැකියාව හිමිවන බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.