Spread the love


නිමල් රාජපක්ෂ-

වී මිලදී ගැනීම සදහා වී අලෙවි මණ්ඩලයට රුපියල් කෝටි 50ක මුදලක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (13) තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ යටතේ හෙට (15) සිට සෑම දිස්ත්‍රික්කයකම අඩු තරමින් වී ගබඩා දෙකක් බැගින් වී මිලදී ගැනීමට විවෘතව තැබීමට නියමිතයි.

මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 02ක මුදලක් ඉල්ලමින් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කළත්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ සම්බන්ධව කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. එම නිසා ගොවි භාරකාර අරමුදලෙන් රුපියල් මිලියන 250ක මුදලක් ලබාගෙන එමඟින් වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය ආරම්භ කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් වී මිලදී ගැනීමට කිසිදු සහයෝගයක් ලබා නොදුන් බව කී අමාත්‍යවරයා, ඊයේ ගරු ජනාධිපතිතුමා සෘජුවම මෙම කටයුත්තට සම්බන්ධ වූ බවත්, ඒ අනුව රුපියල් කෝටි 50ක් ඒ සඳහා ලබා දීමට තීරණය කළ බවත් ප්‍රකාශ කළේය.