Spread the love

පසුගිය කාලය තුළ කොම්පෝස්ට් පොහොර යැයි කියමින් තමන්ට දුන්නේ වැව්වලින් කපා ගත් පස් හා දහයියා බව පවසන ගොවි ජනතාව ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර හා ‌කොම්පෝට්ස් පොහොර තමන්ට අවශ්‍ය නොවන බව පැවසූහ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරන ගොවි සංවිධාන නියෝජිතයෝ මෙම කාරණය අවධාරණය කළහ.

මේ අතර කාබනික පොහොර සම්බන්ධව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති කමිටුවේ නිර්දේශය ද වී ඇත්තේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර හා කොම්පෝස්ට් පොහොර ඇතැම් සමාගම් විසින් සැපයීම නිසා ඒ පිළිබදව ‌ගොවිජනතාවගේ විශ්වාසය බිදී ඇති බවයි.
එමෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද මෙරට ගොවීන්ට සපයන ලද ඇතැම් කාබනික පොහොර හා කොම්පෝස්ට් පොහොර සඳහා නිර්දේශයන් ලබා දී නැත.

එවැනි තත්ත්වයක් තුළ තවදුරටත් තමන්ට මෙම ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර හා ඇතැම් කාබනික පොහොර ද අවශ්‍ය නොවන බව ගොවි නියෝජිතයෝ පැවසූහ.
මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් කාබනික පොහොර සඳහා රජය විසින් ගොවී ජනතාවට ලබා දුන් සහනය මෙරට තේ හා එළවළු වගාව ප්‍රවර්ධනය සඳහා යෙදවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

2022/ 23 මහ කන්නයේ දී කාබනික පොහොර සහනාධාරය සඳහා රජය විසින් රුපියල් මිලියන 16,000ක් වෙන් කළේය. ඒ යටතේ කුඹුරු හෙක්ටෙයාර් 01කට රුපියල් 20,000ක් හා හෙක්ටෙයාර් 02ක් සඳහා රුපියල් 20,000ක සහනාධාරයක් ද ලබා දුන්නේය. මේ සඳහා මෙවර මහ කන්නයේ මෙතෙක් වැය කර ඇති මුදල රුපියල් මිලියන 10,000කි.
ගොවි ජනතාවගේ ඉල්ලිම පරිදි කාබනික හා කොම්පෝස්ට් පොහොර වගාව සඳහා අවශ්‍ය නොවේ නම් එම මුදල් වෙනත් කෘෂි අංශ සංවර්ධනය සදහා යෙදවිය හැකි යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මහ කන්නයේ දී කාබනික පොහොර හා කොම්පෝස්ට් පොහොර නියාමනය කිරීමේ වගකීම දිස්ත්‍රික් ලේකම්, ගොවි නියෝජිතයින් තිදෙනෙකුගෙන් සමන්විත දිස්ත්‍රික් කමිටුවලට පවරනු ලැබීය. එහෙත් ගොවි ජනතාවට ප්‍රමිතියෙන් යුත් කාබනික හා කොම්පෝස්ට් පොහොර නොලැබුනු බවට ගොවි නියෝජිතයෝ පැවසූහ.

එම තීරණය අනුව 2023 මහ කන්නයේ සිට එම සහනය තේ හා එළවළු වගාව සඳහා යෙදවීමට කටයුතු කරන්නැයි අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය