Spread the love


නිමල් රාජපක්ෂ-

මක්කම වන්දනාව සඳහා මෙරටින් බැහැර වන ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් උපරීම සාධාරණ ලෙස සේවා සැපයීමට කටයුතු සුදානම් කර ඇති බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් සේවා සැපයීම සඳහා පත් කර සිටින හජ් කමිටුවේ නිලධාරී මඩුල්ලෙහි වැඩ කටයුතු කිරීම සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙහි ස්ථාපනය කළ නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරය ඊයේ (21) මේ බව සඳහන් කළේ ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
මක්කම වන්දනාව සඳහා මෙරටින් බැහැර වන ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් කාර්යාලයක් පමණක් විවෘත කිරීමෙන් අප සෑහීමකට පත්වන්නේ නැහැ.අපගේ අරමුණ වන්නේ ඔවුන් වෙනුවෙන් උපරීම සාධාරණ සේවාවක් සැපයීමයි.පසුගිය වසරවල මෙන් වීසා බලපත් මුලදට විකිණීමට කිසි විටෙකවත් අප ඉඩ තබන්නේ නැහැ.ඒ වැනි කිසියම් හෝ අසාධාරණයන්ට ලක් වූ අය වේ නම් වහාම අපව දැනුම්වත් කරන ලෙස ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ෆයිසල් කාසිම්,එම්.මුස්රෆ්,ඉෂාක් රහ්මාන්,මර්ජාන් පලීල්, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂ Z.A.M.ෆයිසල්,හජ් කමිටුවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්වුහ.