Spread the love

සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සඳහා 2023 වර්ෂය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පසුගියදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා සීදූව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.

මෙසේ සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගන්නා දරුවන්ට වසර 02ක පුහුණුවක් ලබා දීමට නියමිතය. මෙම දරුවන් තෝරා ගන්නා ක්ෂේත්‍රය අනුව පුහුණුවෙන් පසු නිවසේ සිට ස්වයං රැකියාව නිරතවීමට අවශ්‍ය මෙවලම් කට්ටල ද දෙපාර්තමේන්තුව ලබා දෙනු ඇත.

මෙම පුහුණු මධ්‍යස්ථාන වෙතින් පුහුණුව ලබාදීම සඳහා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් යොමු කිරීම සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ කාර්යභාරයක් බවත් දිවයින පුරා සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 13ක් ක්‍රියාත්මක බවත් මේ පිළිබඳ අදහස් දක්වමින් ගම්පහ දිස්ත්‍රික් සමාජසේවා නිලධාරී ඩී.ජී. චන්ද්‍රසෝම මහතා පැවසීය.  

මේ අවස්ථාවට සමාජසේවා සංවර්ධන නිලධාරී ඩබ්.එන්.එම්. රූපසිංහ මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13හි සමාජසේවා නිලධාරීහු එක්ව සිටියහ.