Spread the love


නිමල් රාජපක්ෂ-


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමතිවරයාව සිටියදි උදාගම්මානවල බාගෙට ඉදිකළ නිවාස සියල්ලෙහිම වැඩ වහාම නිමකරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි..
දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකළ උදාගම්මාන 2,150 ක අඩක් ඉදිකිර ඇති නිවාස 39,815 ක් තිබෙනු ඇත.
ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සූර්ය පැනල නිවාස ව්‍යාපෘතිය සහ ගමට බලාගාරයක් වැඩසටහන යටතේ විදේශීය ආයෝජකයකු මගින් එම නිවාසවල ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කිරිමට නියමිතයි්‍
සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටි 2015-2019 සිව් වසර තුලදි දිවයින පුරා උදාගම්මාන 2,158ක නිවාස ඒකක 42,610ක වැඩ ආරම්භ කර තිබුණි. නමුත් ඒවායේ වැඩ අවසන් කර තිබුනේ අර්ධ වශයෙනි. බොහෝමයක් නිවාස පදිංචියට සුදුසු තත්ත්වයේ නොතිබීම හේතුවෙන් ඒවායේ හිමිකරුවන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවට පසුගිය සමයේදී තොරතුරු වාර්තාවී තිබුණි.

විවිධ රජයන් විසින් වැඩ ආරම්භ කර අතරමඟ නතර කර දමා ඇති නිවාස 98,000 ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය පවසන්නේ ඒ සඳහා රුපියල් මිලියන 24,000ක මුදලක් අවශ්‍ය බවයි.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා නිවාස විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේදී තමන්ට රිසිසේ අන්තනෝමතික ලෙස නිවාස ආධාර හා ණය ලබාදී ඇති බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට එලෙස වැඩි වශයෙන් නිවාස අධාර හා ණය ලබාදී ඇති බවද අණාවරණය වී ඇති බවයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.
එම පරීක්ෂණ මගින් අණාවරණයවන තොරතුරු අනුව නුසුදුසු ප්‍රතිලාභීන්ගේ ඉදිරි නිවාස ණය හා ආධාර වාරික ලබානොදීමටත්, මෙතෙක් ලබාදී ඇති වාරික යළි ඔවුන්ගෙන් අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.