Spread the love


ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරතව සිටින හා යලි දිවයිනට පැමිණි ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සදහා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ක්‍රියාත්මක කරයි
විදේශ රැකියාවන්හි නිරතව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ අධ්‍යාපනය හදාරණ දරුවන් මුහුණ දෙන ආර්ථික අපහසුකම් පදනම් කරගනිමින් අධ්‍යාපනය ලැබිමට පහසුවක් ලබාදීමේ අරමුණින් මෙම සුබසාධන ක්‍රියාමාර්ගය දරුවන්ගේ යහපත උදෙසා ක්‍රියාත්මක කරනු ලබයි.
පාසල් උපකරණ ලබාදීම සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවල නිරතවන හා යලි දිවයිනට පැමිණි ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සදහා පමණි. ඒ අනුව එක් ශිෂ්‍යයෙකුට එක්වරක් පමණක් රුපියල් 10,000ක් පමණ වටිනා පාසල් උපකරණ කට්ටලයක් අදාල ශ්‍රමිකයා පදිංචි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශාඛා කාර්යාලය මගින් නිකුත් කරනු ලබයි. මේ සදහා අයදුම්පත් හා විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා සංවර්ධන නිලධාරී වෙතින් ලබා ගැනිමට පහසුකම් සලසා ඇත.

මෙම පාසල් උපකරණ ලබා දීම ක්‍රම 02ක් ඔස්සේ සිදු කරනු ලබන අතර දැනට විදේශගතව සිටින දෙමාපියන්ගේ රජයේ පාසල් වල 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ දක්වා ඉගෙනුම ලබන දරුවන් සදහා මෙන්ම විදෙස්ගතව සිට නැවත දිවයිනට පැමිණ වසර 5ක් නොඉක්මවූ දෙමාපියන්ගේ දරුවන් සදහාද පාසල් උපකරණ ලබාගැනීම සදහා රු.10,000ක් වටිනා පාසල් උපකරණ ලබා දිම සිදු කරනු ලබයි.
කාර්යාංශයේ සුබ සාධන අංශය හා ප්‍රත්‍යානුකලන අංශය විසින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සදහා ලබා දෙන පාසල් උපකරණ ලබාගැනීමට විගමනික ශ්‍රමිකයින්ගේ දරුවන්ගේ උප්පැන්න සහතික වල සහතික කළ ඡායා පිටපත්, දරුවන් ඉගෙනුම ලබන පාසැල් වල පන්තිභාර ගුරුවරයා හා විදුහල්පතිගේ නිර්දේශය සහිත අවශ්‍ය පාසැල් උපකරණ ලැයිස්තුවක් (රු.10,000.00ක උපරිමයකට යටත්ව), පදිංචිය සනාථ කිරීමේ සහතිකයක් (ග්‍රාම නිලධාරී නිර්දේශය සහිතව), මව/ පියා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගත වූ බව තහවුරු කිරීමේ ලේඛන (ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක්) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී වෙත ඉදිරිපත් කල යුතුය