Spread the love

නාගොඩ- සුමන

වතු කම්කරු වැටුප් වැඩි කිරීම සඳහා පැවැති දෙවැනි සාකච්ඡා වටයද අසාර්ථක වී තිබේ. 
වතු හාම්පුතුන්ගේ සංගමයේ සාමාජිකයින් ඒ සඳහා නොපැමිණීම ඊට හේතුවයි.
පසුගිය 10 වැනිදා වතු වෘත්තීය සමිති හා හාම්පුතුන්ගේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පළමු වරට සාකච්ඡාවක් සංවිධාන කෙරිණි.
ඒ කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙනි.
කෙසේ වෙතත් එම සාකච්ඡාවට වතු හාම්පුතුන්ගේ සංගමයේ සාමාජිකයින් සහභාගි නොවීය.
ඒ හේතුවෙන් සාකච්ඡාවේදී තීරණයක් ගැනීමට නොහැකි වූ බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
දෙවැනි වරට පෙරේදා (24) සාකච්ඡාවක් කැඳවා තිබුණද ඊටද වතු හාම්පුතුන්ගේ සංගමයේ සාමාජිකයින් සහභාගි නොවීම හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.
පවතින තත්ත්වය යටතේ වතු කම්කරු දෛනික වැටුප ඉහළ නැංවීම දිනෙන් දිනම කල් දැමීමට සිදුව තිබේ. 
මේ සම්බන්ධයෙන් අප කම්කරු කොමසාරිස් ජනරාල් අශෝක ජයසුන්දර මහතාගෙන් විමසූවිට පැවසුවේ ඒ සම්බන්ධයෙන් අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවයි.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප අවසන් වරට 2021 වසරේදී වැඩි කෙරිණි.

එහිදී දීමනාද ඇතුළුව වතු කම්කරු වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කෙරිණි.
පවතින අධික ජීවන වියදම හේතුවෙන් තම දෛනික වැටුප රුපියල් 1700 ක් දක්වා වැඩි කළ යුතු බව වතු කම්කරු වෘත්තීය සමිති ඉල්ලා සිටියි.