Spread the love

ව්‍යාපාරිකයෙකුගේ කෝටි 15ක මුදලක් ලබාගෙන එය නැවත ලබානොදී වංචාවක් සිදුකළ බවට චෝදනා එල්ලවූ මාකොළ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී කාන්තාව සතු අති සුඛෝපභෝගී මෝටර් රථයක්, ස්මාට් ජංගම දුරකථන කිහිපයක් සහ ලැප්ටොප් පරිගණක දෙකක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේදී තම මිතුරෙකු මාර්ගයෙන් මෙම සැකකාර කාන්තාව හඳුනාගත් බව ව්‍යාපාරිකයා පොලීසියට පවසා ඇත.

තමන් වාහන ආනයනය කරන බව පවසා ඇති අදාළ සැකකාර කාන්තාව එලෙස ගෙන්වූ වාහන කිහිපයක් රේගුවෙන් නිදහස් කරගැනීමට හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇතිබව සඳහන් කර මෙම මුදල අදාළ ව්‍යාපාරිකයාගෙන් ලබාගෙන ඇති බවත් මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.

අනතුරුව තමන්ට එම කාන්තාව මුණනොගැසුණු බව සඳහන් කරමින් මෙම ව්‍යාපාරිකයා විසින් පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී තොරතුරු අනාවරණය වී ඇත්තේ සැකකාර කාන්තාව මීට පෙර මහා පරිමාණ මුදල් වංචා රැසකට අදාළව චෝදනා එල්ලවූ කාන්තාවක් බවය.

ඇයට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ, කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ, මාලිගාකන්ද ප්‍රධාන ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මුදල් වංචා නඩු රැසක් ඇති බව එහිදී හෙළිවී තිබේ.

එසේම සැකකාරිය මහේස්ත්‍රාත්වරියක් ලෙස පෙනී සිට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ්කර සිටි සැකකාරියකගෙන් රුපියල් 636,000 ක මුදලක් ලබාගැනීමට තැත්කිරීම සම්බන්ධයෙන්ද චෝදනා ලැබූ තැනැත්තියක් බව එහිදී අනාවරණ වී ඇත.

මීට අමතරව සැකකාර කාන්තාව ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සැකසීම චෙක් පත් ලබාදීම ආදී වංචාවන් රැසකට සම්බන්ධ තැනැත්තියක් බවටත් වැඩිදුරටත් අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

එසේම හිටපු ජනපතිවරයෙකුගේ ධුර කාලය තුළදී ජනපති සම්බන්ධතා ඇති බවට සඳහන් කරමින් මුදල් වංචා කර ඇති බවටද ඇයට චෝදනා එල්ලවී ඇති බව අනාවරණය වී තිබේ.

සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.