Spread the love


…කොලඹ වරායේ ඉපැරණිම බහලුම් පර්යන්තය වන ජයබහලු පර්යන්තයේ මෙහෙයුම් ධාරිතාව වැඩි කිරීමට අවශ්‍ය සියලු සංවර්ධන කටයුතු නිම කොට මේ මස අවසානයේ නිල වශයෙන් විවෘත කිරීමට නියමිතයි.
මෙම සිදු කෙරෙන සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජයබහලුම් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ජයබහලුම් පර්යන්තයේ සිදු කරනු ලබන නව සංවර්ධන කටයුතු අතර දැනට ක්‍රියාත්මක කරන ග්‍රැන්ට්‍රි දොඹකර 14 ට අමතරව මීටර් 45කින් උස ග්‍රැන්ට්‍රි දොඹකර 03ක් අළුතින් සවි කිරීම, මීටර් 1280 ක් දිගින් යුතු නැංගුරම් පොල මීටර් 120 කින් දිර්ඝ කිරිම, බහලු අංගනය අක්කර 13 කින් පුළුල් කිරීම, වැනි ප්‍රධාන කටයුතු සිදු කෙරෙනු ඇත. මෙම සමස්ථ සංවර්ධන කටයුතු සඳහා ශ්‍රි ලංකා වරාය අධිකාරිය විසින් රුපියල් බිලියන 10 ක් වැය කරනු ලබයි.
මෙම සංවර්ධන කටයුතු නිම කිරීමෙන් අනතුරුව විශාල ප්‍රමාණයේ බහලුම් නෞකා 02ක් එකවර නැංගුරම් කිරීමේ හැකියාවත්, බහලු මෙහෙය වීමේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමටත් හැකි වන බව ශ්‍රි ලංකා වරාය අධිකාරිය පවසයි.

ඒ අනුව දැනට ජයබහලුම් පර්යන්තය විසින් වසරකට මෙහෙයුම් සිදු කරනු ලබන මිලියන 1.8 ක් පමණ බහලුම් සංඛ්‍යාව වසරකට මිලියන 2.5ක් දක්වා වැඩි කිරීමට ඉලක්ක කර ඇති බවද ශ්‍රි ලංකා වරාය අධිකාරිය අවධාරණය කරයි.
මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, වරාය අධිකාරියේ සභාපති කීත්. බර්නාඩ්, උප සභාපති ගයාන් අලගේවත්තගේ , කලමණාකාර අධ්‍යක්‍ෂ ප්‍රභාත් මලවිගේ, වරාය මෙහෙයුම් අධ්‍යක්‍ෂ යු. කුමාර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය