Spread the love

2022 වසරේ පළමු භාගය තුළ මෙරට වගා කරන ලද වී ඇතුළු ආහාර බෝග 28 ක නිෂ්පාදන මෙට්‍රික් ටොන් 144,989ක් හා පොල් ගෙඩි මිලියන 93ක් වන සතුන්විනාශ කර ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි .
එම ආයතනය පසුගිය කාලයේ ගොවි ජන- වන සත්ව ගැටුම් පිළිබඳව සිදු කරන ලද පර්යේෂණ වාර්තාවට අනුව මෙම අදහස් පළ කරයි.

විශේෂයෙන්ම පිළිගත් ප්‍රභවයන් මගින් ලබා ගත් මිල ගණන් මත පදනම් ව ඇස්තමේන්තු කළ විට එම ආහාර බෝග නිෂ්පාදන ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 30,215ක් යැයි එම වාර්තාව සඳහන් කරයි. ඉහත සියලු පරාමිතීන් මගින් කෘෂිකාර්මික ජීවනෝපායයන්ට වන සතුන් එරෙහි වන ආකාරය හා එමගින් ආහාර සුරක්ෂිතතාවයට එල්ල වී ඇති අනතුර සුළුපටු නොවන බව ද එම වාර්තාව අවධාරණය කරයි.

මෙම වාර්තාව පෙන්වා දෙන කාරණා අවධානයට යොමු කරමින් වන සතුන් විසින් මෙරට වගාවන්ට සිදු කරන හානි හා වන අලි – මිනිස් ගැටුම් වළක්වා ගැනීමට ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග අධ්‍යයනය සඳහා කමිටුවක් පත් කර විවිධ පාර්ශ්වයන්හි අදහස් හා යෝජනා ලබා ගැනීමට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මේ පිළිබඳ සාකච්ඡාවක් වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි. කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට අමාතයාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය හා විවිධ පාර්ශ්ව නියෝජනය කරමින් පරිසර සංවිධාන, සත්ව සුබසාධන සංවිධාන, පරිසර මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු, පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ වනසතුන්ගෙන් සිදුවන වගා හානි පිළිබඳව සිදූ කරන ලදගොවිජන – වනසත්ව අධ්‍යයන වාර්තාව එහිදී HEARTI ආයතනයේ ප්‍රධාන විධායක ආචාර්ය ගොයිගොඩගමගේ බන්ධුල මහතා විසින් අමාත්‍යවරයාට බාර දුන්නේය.

2022 වසරේ වැඩිපුරම හානීයට පත්ව ඇති බෝගය වන්නේ පොල් ය. දිවයිනේ දිස්ත්‍රික්ක 21 ගොවිජන සේවා සංවර්ධන බල ප්‍රදේශ 207ක් තුළ පොල් වගා බිම් හෙක්ටෙයාර් 51,816ක් රටට අහිමි වූ සමස්ත පොල් ගෙඩි සංඛ්‍යාව මිලියන 93 ඉක්මවයි. එම ප්‍රදේශ තුළ පොල් වගා කර ඇති සමස්ත ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර් 275,540කි. ඉන් වනසත්ව හානියට ලක්ව ඇති සමස්ත පොල් ඉඩම් ප්‍රමාණය සියයට 21කි. වන සත්ව හානියට ලක් වූ පොල් ගෙඩි මිලියන 93 නිසා රටට අහිමිව ඇති පාඩුව රු. මි. 6638 ඉක්මවයි.

මේ අන්දමින් වී වගාවට ද එල්ල වී ඇති බලපෑම සුලුපටු නොවේ. 2021/22 මහ කන්නයේ සමස්ත වී වගා වපසරියෙන් සියයට 5.6ක් හෙවත් හෙක්ටයාර් 31,922ක් වන සත්ව හානිය නිසා රටට අහිමිව ගොස් ඇත.