Spread the love


නිමල් රාජපක්ෂ-

..
.

වතුකරයේ ජනතාවට දෛයිනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දැමීමටත්, ස්ථිර තැපැල් ලිපියනයක් ලබාදීමටක් කඩිනමින් කටයුතු කරන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
තවද
මෙරට ආර්ථිකය සඳහා විශේෂ දායකත්වයක් දක්වන වතුකර දෙමළ ජනතාවගේ ජීවිත සෙසු ජනතාවගේ ජීවිත හා සමාන තත්ත්වයට පත් කිරීම සඳහා හැකි සෑම පියවරක්ම ගැනීමට සූදානම්වේ.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඔවුන් සම්බන්ධයෙන් පැවැති රජයන් මෙතෙක් ගනු ලැබූ තීන්දු තීරණ පිළිබඳ ආපසු හැරී බැලීමක් කළ යුතු බවයි. අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී මේ බව පැවැසීය.

රටේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 35.8%ක් වන වාණිජ වගා බිම් අතරින් 10.7%ක් රාජ්‍ය ව්‍යවසායන්ට අයත් ය. පවුල් 107,784ක් එම වතු ආශ්‍රිත රැකියාවල නිරත වෙමින් ඇති අතර තවත් පවුල් 147,192ක් වතුවල පදිංචිව සිටිමින් වෙනත් රැකියාවල නිරත වන බවයි අමාත්‍යවරයා පැවැසුවේ. ශ්‍රී ලංකාවේ අඩුම පහසුකම් සහිත ජනතාව ඔවුන් බව කියා සිටි අමාත්‍යවරයා සඳහන් කළේ එම ජීවිත රටේ සෙසු ජනතාවගේ ජීවිත හා සමාන මට්ටමට රැගෙන ඒම අත්‍යාවශ්‍ය කරුණක් බවයි. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ යටතේ පියවර රැසක් ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඒ අනුව දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ නැංවීම පිළිබඳ මේ වන විට කරුණු වීමසා ඇති අතර ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය සඳහා ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් ද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක ය. මීට අමතරව අධිකරණ තීන්දුවකට අනුව යමින් වතුකරයේ ජනතාව වෙත ස්ථිර තැපැල් ලිපිනයක් ලබා දීමේ කටයුතු ද මේ වන විට කඩිනමින් ක්‍රියාත්මක බවයි හෙතෙම සඳහන් කළේ. මෙරට වාණිජ වගා බිම්වලින් තුනෙන් එකක වන රාජ්‍ය වැවිලි ප්‍රමාණය වඩාත් පලදායී ව්‍යවසායන් බවට පත් කිරීම සිය අපේක්ෂාව බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

මේ අතර පරාටේ නීතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ පවතින තත්ත්වය යටතේ පරාටේ නීතිය තාවකාලිකව හෝ අත්හිටුවීම ප්‍රායෝගික නොවන බවයි. පරාටේ නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ රුපියල් ලක්ෂ 50ට වැඩි ගනුදෙනු සඳහා පමණක් බව අවධාරණය කළ අමාත්‍යවරයා ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සේම බැංකු පද්ධතියේ සුරක්ෂිතතාවය ද අතිශය වැදගත බව කියා සිටියේ ය. 2019 දී 4%ක් වූ ණය නොගෙවීමේ අනුපාතය මේ වන විට 15% දක්වා ඉහළ ගොස් තිබේ. ඒ හේතුවෙන් සමස්තයක් ලෙස පරාටේ නීතිය අත් හිටුවීම වෙනුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ පාරිභෝගික ආරක්ෂණ අංශය මගින් සිද්ධීන් එකින් එක විමර්ශනය කරමින් අවශ්‍ය කටයුතු සිදු කරන බව ද සියඹලාපිටිය මහතා පැවසීය.

පවතින ආර්ථික වටපිටාව තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් අපහසුතාවට පත්ව සිටින බව රජය පිළිගන්නා අතර ඒ හේතුවෙන් ඔවුන්ට සහනදායි ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියන් බිලියන 50ක මුදල් වෙන් කර ඇති බවයි අමාත්‍යරයා පැවසුවේ. ඒ සඳහා රුපියල් බිලියන 20ක් මෙවර අයවැය මගින් ද තවත් රුපියල් බිලියන 30ක් ආසියානු සංවර්ධන බැංකුව මගින් ද ලබා දීමට නියමිත ය. මෙම මුදල චක්‍රීය ලෙස භාවිත කරමින් රුපියල් බිලියන 250 ඉක්මවූ පහසුකම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් වෙත ලබා දීමට සූදානම් බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.