Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සහ සමඟි ජන බලවේඟය නියෝජනය කරන ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සමඟ වෙන් වෙන්ව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙසට ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

තමන් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව එහිදී ජනාධිපතිවරයා තමන් හමුවූ මැති ඇමති පිරිසට නිල වශයෙන් දැනුම් දී තිබේ. එහෙත් ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩ පිළිවෙල අවසන් කිරීමට තමන්ට තවත් මාස කිහිපයක් අවශ්‍ය බවත් ඉන් අනතුරුව ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් තමන් නිල වශයෙන් ප්‍රකාශ කරන බවත් ජනාධිපතිවරයා පවසා ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

තමන්ට එ.ජා.පයට හෝ පොහොට්ටුවට එක්වීමට නොහැකි බැවින් ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් නව සන්ධානයක් ගොඩනඟන ලෙස ස.ජ.බ මන්ත්‍රීවරුන් දෙදෙනා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

එලෙස සන්ධානයක් පිහිටවුවහොත් ස.ජ.බ, ශ්‍රී.ල.නි.ප සහ පොහොට්ටුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් 15කට අධික පිරිසක් එයට එක්වීමට කැමත්තෙන් පසුවන බවද මන්ත්‍රීවරුන් දෙදෙනා පෙන්වා දී ඇතැයිද ජනාධිපතිවරයාට සමීප ආරංච් මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ඉදිරි ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ මුලික සංවිධාන කටයුතු ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීමට ජනාධිපතිවරයා හමුවූ මැති ඇමතිවරුන් පිරිස තීන්දුකර තිබේ.

කෙසේ වෙතත් සාකච්ඡා සඳහා සහභාගී වූ සියලු මන්ත්‍රීවරුන්ගේ අනන්‍යතාවය හෙළිදරව් නොවීමට වගබලා ගැනීමට තීන්දු කර ඇති අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන මොහොතවන තෙක් ස.ජ.බ තුළ සිටිමින්ම කටයුතු කරන ලෙස ස.ජ.බ මන්ත්‍රීවරුන් දෙදෙනාට ජනාධිපතිවරයා දැනුම්දී ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.