Spread the love

වන්දනා ගමන් ඇතුළු සංචාරවල නිරත වන පිරිස් සෞඛ්‍යාරක්ෂිත, පිරිසිදු ආහාර පාන ලබාගැනීම සම්බන්ධයෙන් දැඩිව සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළේ, බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් වැළඳෙන ලිස්ටීරියා නමැති රෝගී තත්ත්වය රත්නපුර දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැතිර යාමක් පවතින්නේදැයි සොයා පරීක්ෂණයක් සිදු කෙරෙන බවය.

ඒ, රත්නපුර එරත්න ප්‍රදේශයේ කාන්තාවක ආහාර මගින් බැක්ටීරියාවක් ශරීරගතවී වැළඳෙන ලිස්ටීරියා නමැති රෝගී තත්ත්වයකින් මිය ගොස් ඇතැයි තොරතුරු වාර්තාවී තිබීම හේතුවෙනි.

එවන් පසුබිමක රත්නපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ද සඳහන් කළේ, රත්නපුර එරත්න ප්‍රදේශයේ කාන්තාවක පසුගියදා ආහාර විෂවීමකින් මිය ගොස් තිබූ අතර ඇයගේ මරණයට හේතුව බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් වැළඳෙන ලිස්ටීරියා නැමැති රෝගී තත්ත්වයක් බවට තහවුරු වී ඇති බවය. 

ඒ අනුව රත්නපුර ශික්ෂණ රෝහලේ දැනුම්දීම මත එම මරණකරුට අදාළ ආහාර සාම්පල ගෙන විමර්ශනයක් අරඹා ඇති බව එම කාර්යාලයේ වෛද්‍යවරියක සඳහන් කළාය.

ඇය පැවසුවේ මීට අමතරව තවත් මෙවැනිම මරණ දෙකක් වාර්තා වී ඇතත් අදාළ මරණවලට හේතුව එම ලිස්ටීරියා රෝගී තත්ත්වයමදැයි තවමත් නිශ්චිතව තහවුරු වී නොමැති බවය.

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ මාධ්‍ය කැඳවුම්කරු වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවේ උණ, වමනය, හිසරදය, බඩ බුරුලට යෑම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති මෙම ලිස්ටීරියා නමැති රෝගී තත්ත්වය අපවිත්‍ර ආහාර මගින් බැක්ටීරියාවක් ශරීරගතවීමෙන් වැළඳෙන බවය. 

ඒ අනුව ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන් මෙන්ම අනෙකුත් සංචාරවල නිරත වන පිරිස් සැමවිටම පිරිසිදු ජලය සහ ආහාර ලබාගැනීමට වගබලාගත යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

මේ අතර අද පැවති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණි.