Spread the love

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් එක්ලක්ෂ පනස් අටදහස් තුන්සිය අනූඑක් දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට පමණ මේ වන විට වැසි සහිත කාලගුණ තත්ත්වය බලපා තිබේ.

ඒ හේතුවෙන් කොළඹ, කළුතර, ගාල්ල, මාතර, ගම්පහ යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ  රැසක ගංවතුර තත්ත්වයන් ඇතිවිය.

ගතවූ පැය 24 තුළ මිලිමීටර් 126.1ක් වූ වැඩිම වර්ෂාපතනය අම්පාර කල්මුණේ ප්‍රදේශයෙන් වාර්තා විය.

කැලණි ගඟ පිටාරගැලීමෙන් කැලණිමුල්ල, කඩුවෙල ඇතුළු අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යටවූ අතර, අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගය ජාඇල කොටුගොඩ මංසන්ධිය ද ජලයෙන් යටවිය.

කෙසේවෙතත් ගම්පහ නගරයේ පැවති ගංවතුර ක්‍රමයෙන් මේ වනවිට බැසයමින් තිබේ.

කළු ගඟ සහ කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ඇතුළු පහත්බිම් රැසක් ජලයෙන් යට වූ අතර, ඒ හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බලපෑම් එල්ල විය.

එමෙන්ම හැමිල්ටන් ඇල පිටාර ගැලීමෙන් පුත්තලම නාත්තන්ඩිය, තුම්මෝදර, මාවිල ඇතුළු ප්‍රදේශ රැසක් ද ජලයෙන් යටවිය.

අත්තනගලු ඔය, කැලණි , කළු, ගිං ගංගා ද්‍රෝණිවල ගංවතුර අවදානම් තත්ත්වයේ අඩුවීමක් පෙන්නුම් කරන බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

කෙසේ නමුත් අද රාත්‍රියේ මෙන්ම හෙටත් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් සියය ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.