Spread the love

රාජ්‍ය ලාංඡනය සහිත කැබ් රථයක් හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරය අසල අතහැරදමා ගොස් තිබියදී සොයාගත් බව වාර්තා වේ.

මෙම කැබ් රථය ඉකුත් සිකුරාදා සිට එම ස්ථානයේ තිබුණු බවද වාර්තා වේ.

රාජ්‍ය ලාංඡනය සහිතව රෝහලට ඇතුළුවීමේදී එම රථය රාජකාරී අවශ්‍යතාවයක් සඳහා ඇතුළු වන බව හඟවමින් ඉතා සූක්ෂ්මව රෝහල් පරිශ්‍රයට ඇතුළු වී රෝහල පිටුපස පිහිටි මෘත ශරීරාගාරය අසල මෙසේ දමා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

දින කිහිපයක් තිස්සේ මෘත ශරීරාගාරය අසල නවතා තිබුණු රථය පිළිබඳව විපරම් කිරීමේදී එහි හිමිකරුවකු නැති බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ එම රථය බාහිර පුද්ගල යකු විසින් රෝහල් පරිශ්‍රයට ගෙනැවිත් දමා ගොස් ඇතැයි පැහැදිලිවීමෙන් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශය මැදිහත් වී මේ බව පාලනාධිකාරීය දැනුවත් කිරීමෙන් අනතුරුව එම නිලධාරීන් පැමිණ අදාළ රථයේ ඡායාරූප සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඉහළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

මේ වන විට එම රථය රැගෙන යාමට නොහැකි වන පරිදි මාර්ගය අවහිර වන සේ රෝහල් සේවකයන් ඒ අවට ප්‍රදේශයට ගල් දමා පාර අවහිර කර ඇතැයි පැවසේ.

නව රජය පත්වීමත් සමඟ රජයට අයත් මෙම වාහනය අවභාවිතා කළ අයකු මෙසේ රෝහල් පරිශ්‍රයට රථය ගෙනවිත් අතහැරදමා ගියාද නැතහොත් කිසියම් අපරාධයක් සිදුකොට රාජ්‍ය ලාංජනයක් සවිකොට බලධාරින් නොමඟ යැවීමට මෙසේ නවතා දමා ගියාද යන්න පිළිබඳව සැක මතුව ඇතැයි රෝහල් කාර්ය මණඩලය පවසයි.