Spread the love

දික්ඔය මූලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෙකු රාජකාරි වේලාව තුල රෝහල් පරිශ්‍රයේ හෙල්මටයක් පලදින්නේ නොමැතිව අධික ශබ්දය සහිත ට්‍රේල් වර්ගයේ යතුරුපැදියක් ධාවනය කරන අයුරු අප කැමරාවේ සටහන් විය.

(16) දින දහවල් 12.00 ට පමණ එම සේවකයා යතුරුපැදිය ධාවනය කරන අවස්ථාවේ එම රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් පරික්ෂා කරමින් සිටි අතර, නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමටද එම රෝගීන්ගේ ඥාතීන් විශාල පිරිසක් රෝහලට පැමිණ සිටි අතර එම සියලු දෙනාට පීඩාවක් ඇතිවන සේ එම සේවකයා අධික ශබ්දය නගමින් යතුරුපැදිය අධික වේගයෙන් ධාවනය කිරිම කාගෙත් අවධානයට යොමු විය.

එම යතුරුපැදියේ සයිලන්සරයේ ශබ්දය පාලනය කරන කොටස ඉවත් කර යතුරුපැදිය ධාවනය කිරිම නිසා එම යතුරුපැදියෙන් අධික ශබ්දය පිටවී ඇත.

දික්ඔය මූලික රෝහලට මීට මාස හයකට පමණ ප්‍රථම ස්ථාන මාරුවක් ලබා එම සේවකයා පැමිණි බවත්, එම සේවකයා අධික ශබ්දය නගමින් යතුරුපැදිය ධාවනය කරන ශබ්දය තමන්ට ඇසුනු බවත්, එම සේවකයාට එරෙහිව විනය පරික්ෂණයක් පවත්වන බවයි දික්ඔය මූලික රෝහලේ සහකාර අධ්‍යක්ෂක වෛද්‍ය අරුල් කුමරන් මහතා කියා සිටියේ.

රෝහල් පරිශ්‍රය තුළ අධික ශබ්දය නගමින් යතුරුපැදිය ධාවනය කල එම රෝහලේ සේවකයාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ එම යතුරුපැදිය මිලදී ගැනිම සදහා යතුරුපැදිය ධාවනය කර පරික්ෂාකර බැලු බවත්, එහි කිසිදු වරදක් තමන් නොදකින බවදය.