Spread the love

ජාත්‍යන්තර රොටරි සමාජය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය රුපියල් මිලියන 60 ක් පමණ වටිනා ඖෂධ තොගයක් අද (15) රොටරි සමාජයේ ජාත්‍යන්තර සභාපතිනී ජෙනිෆර් ජෝන්ස් මහත්මිය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එනිල වශයෙන් භාර දුන්නාය.
UNICEF සංවිධානයේ සම්බන්ධීකරණයෙන් ජාත්‍යන්තර රොටරි සමාජය මෙලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් ආධාර අතර ගර්භණී මව්වරුන්ගේ අධිරුධිර පීඩනය සඳහා වන ඖෂධ, ප්‍රසූතියේදී අවශ්‍ය වන ඖෂධ සහ කුඩා දරුවන්ගේ චර්ම රෝග සඳහා වන ඖෂධ තොගයක් වේ.
ජාත්‍යන්තර රොටරි සමාජය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ හඳුනාගනිමින් ඒවා ලබාදීමේ වැඩපිළිවෙලේ ප්‍රථම පියවර මෙය වන අතර ඉදිරියටත් එලෙස ඖෂධ ආධාර ලබාදීමට පියවර ගැනේ.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය ‍කෙහෙලිය රඹුක්වැල්ල මහතා,

ජාත්‍යන්තර රොටරි සමාජය සහ UNICEF සංවිධානය සමඟ ශ්‍රී ලංකාව අතර ඇත්තේ දිගු කාලීන බැඳීමක් බවත් එම සහයෝගීතාවය මෙම අර්බුදකාරී තත්ත්වයෙන් අත්මිදීමට මහත් පිටිවහලක් වන බවත් පැවසීය. ආධාර අවශ්‍ය ඕනෑම මොහොතක රොටරි සමාජය රටෙහි සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් මෙරටට සහය ලබාදෙන බවද මෙරටින් පෝලියෝ රෝගය තුරන් කිරීම සඳහා ඔවුන්ගේ මැදිහත්වීම ස්තූති පූර්වකව සිහිපත් කරන බවද කීය. මේ ගත කරන කාලයට වඩා අසීරු කාලයක් මෙයට පෙර නොතිබුණු බවත් පාලනය කර ගැනීමට නොහැකි වෙමින් තිබූ තත්ත්වය මේ වන විට පාලනය කරගත හැකිවෙමින් පවතින බවත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ රොටරි සමාජයේ ජාත්‍යන්තර සභාපතිනී ජෙනිෆර් ජෝන්ස් මහත්මිය,
රොටරි සාමාජිකයින් විසින් ලබාදුන් මෙම ආධාර තොගය ඖෂධ හිඟයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාවේ ඖෂධ අවශ්‍යතාවන් හඳුනාගෙන අවශ්‍ය වේලාවට ලබා දීමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා. ඉතාම විනිවිද භාවයකින් කටයුතු කිරීම උදෙසා UNICEF සංවිධානය හරහා මෙම ආධාර තොගය ලබා දීමට කටයුතු කර තිබෙනවා යැයිද පැවසුවාය..