Spread the love


නිමල් රාජපක්ෂ-

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම, මහ බැංකුව සහ ආණ්ඩුව කෘතිමව සිදුකළ එකක් බවට පසුගිය දින කිහිපයේදී විවිධ පාර්ශව චෝදනා කළද , රුපියලේ අගය තීරණය වන්නේ ඩොලරයට ඇති ඉල්ලුම හා සැපයුම මත බව තහවුරු වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පසුගිය සතියට සාපේක්ෂව මේ වන විට රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබිම සම්බන්ධයෙන්, අද උදෑසන දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට පිලිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසූයේ ඩොලර් සංචිත අතින් මහ බැංකුව තවමත් දුර්වල තැනක පසුවුවද , අවම වශයෙන් ඩොලර් බිලියන 05 ක වත් සංචිතයක් ඇති කර ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවයි.
එසේම ඉදිරි දින කිහිපයේදී ලැබීමට නියමිත IMF ණය වාරික මුදල , ලෝක බැංකුවේ ණය ආධාර මුදල සහ ආසියානු සංවර්ධන අරමුදලේ ණය ආධාර මුදල යන මුදල් ලැබුණු පසු, එය ධනාත්මකව ආර්ථිකයට බලපාන බවත්, ඩොලර් සංචිත වැඩිවීමට , රුපියලේ අගය වැඩිවීමට මෙන්ම භාණ්ඩ මිල අඩුවීමට එම කරුණු සුවිශේෂිව බලපාන කරුණු බවද අමාත්‍යවරයා පැවසීය.