රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් ගිරිබාව පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ගිරිබාව ප්රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව අදාළ පොලිස් සැරයන්වරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
පැමිණිලිකරු විසින් තම බිරිඳට විරුද්ධව පවරන ලද වන්දි නඩුවකට අදාළව, බිරිඳට ඇති වරෙන්තුව ක්රියාත්මක කර, බිරිඳ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම සඳහා එම පොලිස් සැරයන්වරයා රුපියල් 20,000ක අල්ලස් මුදලක් ඉල්ලා තිබෙන බවයි සඳහන් වන්නේ.
අදාළ අල්ලස් මුදල ලබා නොදෙන්නේ නම් පැමිණිලිකරුට විරුද්ධව යම් නීති විරෝධී කටයුත්තක් සම්බන්ධ කර, නඩු පවරා, සිරගත කිරීමට කටයුතු කරන බවත්, එසේ සිදු නොකිරීමට අදාළ මුදල ලබා දෙන ලෙසත් අදාළ පොලිස් සැරයන්වරයා පැමිණිලිකරුට දැන්වූ බවද පැවසෙයි.
ඒ අනුව අදාළ අල්ලස් මුදල ලබා ගැනීමට යාමේදී මෙම පොලිස් නිලධාරියා පැමිණිලිකරුගේ නිවසේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.