Spread the love

.

දැනට මැදපෙරදිග රතු මුහුද ආශ්‍රිතව ඇති වී තිබෙන අර්බුද තත්ත්වය හේතුවෙන් කොළඹ වරාය වෙත පැමිණෙන නෞකාවන් ප්‍රමාණය වැඩි වී ඇත. එහෙයින් බහලු මෙහෙයුම් ධාරිතාවය ඉහළ ගොස් ඇති අතර එම තත්ත්වය නිරීක්ෂණය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද දින ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තයේ විශේෂ නිරික්ෂණ චාරිකාවක යෙදිණි.
මැදපෙරදිග කලාපයේ යුද තත්ත්වය හේතුවෙන් රතු මුහුද හරහා සූවස් ඇල ඔස්සේ යාත්‍රා කෙරෙන වෙළඳ නෞකාවන්ට සිදුව ඇති ත්‍රස්ත තර්ජන හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස සිය නෞකා කොළඹ වරායට ගෙන්වා ගැනීමට නෞකා සමාගම් පෙළඹී ඇත.
මෙම හේතුව නිසා අද දවසේ වරාය තුළ නෞකා 24 ක් සඳහා නැංගුරම්පළ පහසුකම් සාදා ඇත.
මීට අමතරව වරායෙන් පිටත නැංගුරම්පොළ බලාපොරොත්තුවෙන් නෞකා 10ක් පමණ පොරොත්තුව සිටින බව වාර්තා වෙයි.

මෙම තත්ත්වය මත ජනවාරි මාසය තුලදී නෞකා 100ක් පමණ මෙහෙයවීමට ජයබහලු පර්යන්තය(JCT) හා නැගෙනහිර බහලු පර්යන්තය (ECT) සමත්ව ඇත.
මෙම බහාලු නෞකාවන්ට අමතරව මගී නෞකා 05ක් ද කොළඹ වරායට පැමිණ ඇත.
ජනවාරි මාසය තුළ පමණක් මෙම පර්යන්ත 02ක තුළ පමණක් බහලු 193,000ක් මෙහෙයවා ඇති අතර, එය 70%ක ප්‍රගතියකි. සමස්ථ කොළඹ වරාය සැලකීමේ දී ජනවාරි මාසය තුළදී බහලු 554,000ක් මෙහෙයවා ඇත.
මෙම නෞකා මෙහෙයුම් තවදුරටත් ඵලදායී හා කාර්යක්‍ෂම ලෙස සිදු කිරීමට අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා විසින් නිලධාරීන් වෙත ලබා දෙන ලදී. එමෙන්ම මෙම තත්ත්වය සාර්ථක කර ගැනීම සඳහා සහාය දක්වන කළමණාකාරීත්වයට, විධායක නිලධාරීන්ට, සේවක මහත්ම මහත්මීන්ට හා වෘත්තීය සංගම් නියෝජිතයන්ට අමාත්‍යවරයා සිය කෘතවේදීත්වය පලකළේය.